මක්කම ඉස්ලාමීය පුදබිම වන්දනා කිරීමට ගොස් ඇති ඉස්ලාමීය බැතිමතුන් විශාල පිරිසක් පෑගී මරණයට පත්ව ඇති බව ඊයේ (24) දහවල් වාර්තා වූ අතර එම මියගිය ගණන 717 දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් වන්දනාකරුවන් 863ක් තුවාල වී ඇති බවත් ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.
මෙම වන්දනාකරුවන් වාර්ෂික හජ් වන්දනාවේ නිරත වෙමින් සිටි අය වන අතර ඔවුන් තෙරපීමෙන් සහ පයට පෑගීමෙන් මරණයට පත්ව ඇති බව පැවසේ.
මින් පෙර හජ් උත්සවවලදීද මෙවන් මරණ රැසක් වාර්තා වී ඇති අතර 2006 වසරේ දී 364ක පිරිසක් මරණයට පත් විය.
එසේම 2004 වසරේ දී මියගොස් ඇති පිරිස 244ක් වන අතර 1998 දී 180ක පිරිසක් තෙරපී මිය ගියහ.
1994 වසරේද මරණ 270ක් වාර්තා වූ අතර මෑත ඉතිහාසයේ දී මක්කමින් වාර්තා වන දරුණුතම ව්යසනය සිදුව ඇත්තේ 1990 වසරේදී ය. එම වසරේ දී මියගිය ගණන 1426කි.














