ඊයේ (29) 20/20 ජය ලංකාවට

ඊයේ (29) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ජය ලබාගැනීමට ලංකා කණ්ඩායම සමත්ව ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇති අතර එහිදී ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිව ඇත්තේ ලකුණු 129 ක් පමණි.

මෙහිදී අජන්ත මෙන්ඩිස් පන්දුවාර 4ක් යවා ලකුණු 12ට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වු අතර ඔහු 20/20 තරගවලදී කඩුලු 100 සම්පූර්ණ කිරීම ද සිදුව ඇත.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජය වාර්තා කිරීමට සමත්ව ඇත.

මෙහිදී ලංකා කණ්ඩායම් නායක මහේල ජයවර්ධන නොදැවී ලකුණු 65ක් හා කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 39ක් ලබාගෙන ඇති අතර සංගක්කාර 20/20 තරගවලදී ලකුණු 1000 සම්පූර්ණ කිරීම ද සිදුව තිබේ.

තරගයේ වීරයා සම්මානය මහේල ජයවර්ධනට හිමිකරගෙන තිබේ.

මේ අතර ඊයේ (29) පැවැති තවත් 20/20 තරගයකින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් එංගලන්ත කණ්ඩායම ජයලැබීමට සමත්ව ඇත.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් ලබා ගත් අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජය වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්