20වන සංශෝධන කෙටුම්පත මාධ්‍යයට නිකුත් කරයි…

20වන සංශෝධන කෙටුම්පත මාධ්‍යයට නිකුත් කරයි…

(සංස්කරණය) ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එනලද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

ඒ මේ වනවිට බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුව අතරතුරදීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද මාධ්‍ය හමුවට සහභාගී වී සිටින අතර එහිදි මෙම කෙටුම්පත මාධ්‍යට නිකුත් කරන ලදී.

ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ නමින් ලබා දී ඇති මෙම 20වෙනි සංශෝධනයේ  අඩංගු කරුණු අනුව,

  1. ජනාධිපතිවරයා තෝරාගැනිම පාර්ලිමේන් සිදුවේ.
  2. ජනාධිපතිවරයාගේ ධුර කාලය පාර්ලිමේන්තුවේ ධුර කාලයට සමාන වන අතර එය වසර පහකි.
  3. නව පාර්ලිමේන්තුව පත්වීමෙන් සති හතරක් ඇතුළත රහසිගත ඡන්දයකින් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සාමාන්‍ය බහුතරයකින් ජනාධිපතිවරයා පත් කර ගත යුතුය.
  4. ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා, සේනාධිනායකයා සහ රාජ්‍ය නායකයා යන වගන්තියෙන් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස පැවති බලය ඉවත් වේ.
  5. ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලය තුළ කිසිඳු පක්ෂයක ධුරයක් හෝ සමාජිකයෙකු නොවිය යුතුය.
  6. වරදකරුවෙකුට සමාව ලබා දීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ මත එම නාමලේඛනය සඳහා නමින් නමට විමසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුයි.
  7. විදේශ දූත සේවා සඳහා පිරිස් පත් කිරීමේදී එම බලය කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ.
  8. මහ මැතිවරණයකදී යම් පක්ෂයක් අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු නම් කළ අවස්ථාවේදී එම නම් කරනු ලැබූ පක්ෂය 50%කට වැඩි බලයක් ලබාගන්නේනම් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත් වේ.
  9. එසේ කිසිඳු පක්ෂයක් 50%කට වැඩි බලයක් ලබා ගැනීමට අපොහොසත් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත හැකිය.
  10. ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ සේවක පිරිස තිරීනය කිරීම කැබිනට් මණ්ඩලය විසින් සිදු කරුනු ලැබේ.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව

“අප විසින් ඉදිරිපත් කර තිබෙන විසිවැනි සංශෝධනය පිළිබඳව කරුණු ප‍්‍රමාණයක් ඉදිරිපත් කිරීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා. මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ විකෘති කරුණු ඉදිරිපත් කරමින් දේවතා එළි එවමින්, ප‍්‍රචාරයන් ගෙන ගිය බව ඔබට මතකයි. නමුත් පසුගිය සිකුරාදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා නමින් මේ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට බාර දුන්නා. දැන් මෙය ප‍්‍රසිද්ධ ලියවිල්ලක්. ඒ නිසා අංජනම් එළි බලමින් දේවතා එළි එවමින් බිල්ලෝ මැවූ, වැරදි අර්ථ කථන දුන් සියලු දෙනාම නිරුත්තරභාවයට පත්කරන පරිදි අපි මේ සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සංශෝධනයට එල්ල වුණු ප‍්‍රධාන චෝදනාව 13වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අවලංගු වෙනවාය යන්නයි. මේ සංශෝධනය බෙදුම්වාදීන්ගේ උගුලක්, ‘රෝ’ කරුවන්ගේ සැලැස්මක්, වැනි අර්ථකථන දී තිබුණා. නමුත් විසිවැනි සංශෝධනය ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙන්නේ, 13වැනි සොශෝධනයෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල කිසිවක් වෙනස් නොවන ලෙසයි. ආණ්ඩුකාරවරයා පත්කිරීම සම්බන්ධ බලතල වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මහජන ආරක්‍ෂක පනත මගින් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල අනුව තීන්දු තීරණ ගැනීමේ හැකියාව විසිවැනි සංශෝධනය මගින් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට තව ඇතිකර තිබෙන බියක් වෙන්නේ පාර්ලිමේන්තුවේ අස්ථාවරභාවයක් ඇතිවීම ගැනයි. විසිවැනි සංශෝධනයේදී ඇති විය හැකි එවැනි අස්ථාවරභාවයන් ගැන අවධානය යොමුකොට වගන්ති ගණනාවක් ඇතුලත් කොට තිබෙනවා. ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද මතය නියෝජනය කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් විසින් ගනු ලබන විවිධ ක්‍රියාමාර්ග හේතුකොටගෙන ජනතා මතය විකෘති වෙන තත්වයක් තිබෙනවා. විශේෂයෙන් පිල් පැනීම් හේතුකොටගෙන මේ තත්වය ඇතිවෙනවා. මෙම සංශෝධනයේදී අපි පක්‍ෂයේ ක්‍රියාමාර්ගයට එරෙහිව මන්ත්‍රීවරුන් එහෙට-මෙහෙට පැනීම වැළැක්වීම සඳහා සංශෝධන ඇතුළත් කොට තිබෙනවා.

පක්‍ෂයේ තීන්දුවලට පටහැණිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කටයුතු කිරීමේදී විනය ක්‍රියාමාර්ග ගත්තාම අධිකරණය ඉදිරියට ගොස් එම විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමේ වාරණ නියෝගයන් ලබා ගන්නවා. මන්ත්‍රීධුරයට නියමිත කාලය අවසන් වන තෙක්ම විනය ක්‍රියාමාර්ග ඉදිරියට ගන්න බැරිවෙනවා. ඒ නිසා යම් පක්‍ෂයක් මන්ත්‍රීවරයෙකුට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට හෝ වාරණය කිරීමට කිසිදු අධිකරණයකට බලයක් නොමැති බවට වගන්ති ඇතුළත් කොට තිබෙනවා. හැබැයි ඒ මන්ත්‍රීවරයාට විනය ක්‍රියාමාර්ගවලින් අනතුරුව ඒ පිළිබඳව අධිකරණයකට ගොස් විසඳා ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව අස්ථාවරභාවයට පත්කරන එහෙට මෙහෙට පැනීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම තවත් ක්‍රියාමාර්ගයක් වශයෙන් අලුත් පාර්ලිමේන්තුවක් පත්වී වසර දෙකක් යනතුරු අයවැය විසර්ජන පනතක් පරාජය කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නැහැ. පළමු වරට විසර්ජනය පනත පරාජය වූවාට පසුව සංශෝධන ඇතුළත් කරමින් නැවත ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අවස්ථාව පරාජය වුණොත් සංශෝධන සහිතව නැවත ඉදිරිපත් කළ හැකියි. අවස්ථා තුනකදී  අයවැය ලේඛනයක් පරාජයට පත් වුණොත් පමණයි අර වසර දෙක තුළදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ.

පාර්ලිමේන්තුවේ විකිණෙන මන්ත්‍රීවරුන් ඉන්න නිසා ජනාධිපතිවරයා පත් කිරීමේදී මුදලාලිලාට අවශ්‍ය ජනාධිපතිවරයෙක් පත්කළ හැකි බවට දැන් මතයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වගේ ප‍්‍රශ්නවලට ව්‍යවස්ථාවෙන්ම උත්තර හොයන්න බැහැ. රටේ දේශපාලන සංස්කෘතියේ දියුණුවක් අත්වෙන්න ඕනෑ. නමුත් කලින් කී පරිදි සෑම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්ම තමන්ගේ පක්‍ෂය ගනු ලබන තීන්දුවකට අනුව කි‍්‍රයා කිරීමට පසුබිම සකස් කෙරෙනවා. මන්ත්‍රීවරුන් විකිණෙමින් අසථාවරභාවය හදනවා නම් එවැනි පක්‍ෂවල එවැනි නියෝජිතයන් පත් නොකිරීමේ වගකීමක් ජනතාවට තිබෙනවා. ඒ වගේම මන්තී‍්‍රවරුන් මිලදී ගැනීම මගින් අර්බුදයක් ඇතිවීම ගැන හිතනකොට ජනාධිපතිවරයා මිලදී ගැනීමේ හැකියාවක් ගැන විවිධ රාජ්‍යයන්වලදී ලෝක අත්දැකීම් තිබෙනවා. ලංකාවත් එක උදාහරණයක්. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ තනි පුද්ගලයෙක් හැටියට ජනාධිපතිවරයා මුළුමනින්ම යටත් වීම මගින් පෙන්නුම් කළේ ඒක. ඒ නිසා සාමූහිකත්වයක් අතට බලය ලැබීම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් වැදගත් වෙන්නේ. විසිවැනි සංශෝධනය ගැන මවපු තවත් බිල්ලෙක් තමයි, සංශෝධනය මේ ආකාරයෙන් ඉදිරිපත් කළත් කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදී වුවමනාවන් අනුව රට බෙදීමේ පැත්තට සංශෝධනය ගෙන එන බව කීම. කාරක සභා අවස්ථාවේදී මේ  සංශෝධනයට අදාළවම යම් සංශෝධනයක් හැර ඊට පරිබාහිර කිසිම සංශෝධනයක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකරන බවට මේ සංශෝධනය ගෙන එන ජනතා විමුක්ති පෙරමුණේ අපි රටේ ජනතාවට සහතික වෙනවා. ඒ නිසා කාරක සභා අවස්ථාව ගැනත් විසිවැනි සංශෝධනය ගැනත් හදලා තිබෙන බිල්ලා මුළුමනින්ම අසාර්ථකභාවයට පත්වී තිබෙනවා.

මේ සංශෝධනයේ මූලික අඩංගු කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කරගනු ලබනවා. එම ජනාධිපතිවරයා සතුව ඉතාමත් සීමිත බලතල ප‍්‍රමාණයක් තිබෙනවා. හැබැයි ඒ ජනාධිපතිවරයා රාජ්‍යයේ ප‍්‍රධානියාත් වෙනවා. ඒ අතර ජනාධිපතිවරයා සතුව තිබුණු බලතල විශාල ප‍්‍රමාණයක් අග‍්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව වෙතත් පැවරෙනවා. ඕනෑම නඩුවකින් වරදකරුවෙකු වන කෙනෙක් නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබෙනවා. මෙවැනි ප‍්‍රතිපාදනයක් තිබෙන්නේ යම් නඩුවක් විභාග වෙමින් තිබෙන අවස්ථාවකදී ඉදිරිපත් වෙන කරුණු මත සලකා බලා දෙනු ලබන තීන්දුවක් වැරදි බව පසුව වන අවස්ථාවකදී සද්භාවයෙන් කටයුතු කිරීමටයි. නමුත් මේ අවස්ථාව ප‍්‍රායෝගිකව උපයෝගී කරගත්තේ, ද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් මිල්රෝයි හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අධිකරණය නියම කළ දඬුවම්වලින් මුදවන්නයි. මහනුවර නගර සභාවේ හිටපු නගරාධිපති කේසර සේනානායක මහජන මුදල් අවභාවිතා කිරීමේ වරදට බරපතළ වැඩ සහිතව අවුරුදු දෙකක සිර දඬුවම් නියම කළා. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහුව දවසක්වත් සිර ගෙදර නොතබා එළියට දැම්මා. රත්නපුර සමන් දේවාළයේ නිළමේ කාන්තාවක් දූෂණය කර ඝාතනය කිරීමේ වරදට බරපතළ වැඩ සහිතව දඬුවම් නියම වුණා. නමුත් බන්ධනාගාර බස් එකකටවත් ගොඩ නොවී ඔහු නිදහස ලබාගත්තා. වැරදිකරුවන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා සතුව තිබුණු මේ සද්භාවයේ බලතල උපයෝගී කර ගෙන තිබුණේ ඉතාමත් කැත, පවිටු වුවමනාවන් වෙනුවෙන්. ඒ නිසා අප යෝජනා කරන සංශෝධන අනුව ජනාධිපතිවරයාට එම බලය දිගටම තිබුණත් නිදහස් කළ යුතු වැරදිකරුවන් ගැන කැබිනට් මණ්ඩලයේදී එක් එක් පුද්ගලයාගේ නමට අනුමැතිය ලබාගත යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා සතුව තිබුණු බලය යම් ප‍්‍රමාණයක් කැබිනට් මණ්ඩලයට එකතු කළේ ඔය වගෙයි.

තවත් පැත්තකින් ජනාධිපතිවරයෙකු පත්වුණාට පස්සේ ඉතා විශාල කාර්ය මණ්ඩලයක් පත්කර ගන්නවා. පසුගිය ජනාධිපතිවරයාට 1100ක කාර්ය මණ්ඩලයක් හිටියා. ඔවුන්ට වැටුප්, දීමනා, වාහන, ඉන්ධන සීමාවක් නැතිව ලබා දුන්නා.

වර්තමාන ජනාධිපතිවරයා ළඟට එන ඕනෑම කෙනෙක් බාර ගන්නවා ඒ අයට ජනාධිපති ලේකම් කාර්යාලයේ රැකියා ලබා දෙනවා. මේ නිසා අපි මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊට සීමාවක් යෝජනා කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප‍්‍රමාණය කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළ යුතුයි. දැන් අසීමිතව තිබෙන ඒ බලය සීමා කෙරෙනවා. 19වැනි සංශෝධනයට අනුව අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳව නම් යවන්නේ අගමැතිවරයා. හැබැයි පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. හැබැයි නව සංශෝධනය විසින් අග‍්‍රාමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කළ යුතුව තිබෙනවා. තවත් පැත්තක් බැලුවොත්, විගණකාධිපතිවරයෙක් තෝරා පත්කරගන ලැබුවොත් රාජකාරී කළ නොහැකි වුවහොත් ඒ වෙනුවට පත්කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. නමුත් අලුත් සංශෝධනය අනුව ව්‍යවස්ථා සභාව විසින් ඔහුට කටයුතු කළ නොහැකි බවට නිර්දේශයක් ලබා දුනහොත් පමණක් අලුත් කෙනෙකු පත්කළ හැකිව තිබෙනවා. තනි පුද්ගලයෙකු සතුව තිබූ විශාල බලතල ප‍්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම පහළට ලබාදී තිබෙන්නේ මේ ආකාරයටයි. අනෙක් පැත්තෙන් මේ සංශෝධන කවදා සම්මත කරගත්තත් ඒවා ක්‍රියාත්මක කෙරෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන 2020 ජනවාරි මාසයේ 08වැනිදායින් පසුවයි. ඒ වගේම මේ 20වැනි සංශෝධනයට යටත් ජනාධිපතිවරයාගේ ධුර කාලය අලුත් පාර්ලිමේන්තුවක් තේරී පත්වී විධායක බලතල නොමැති ජනාධිපතිවරයෙකු පත්කර ගන්නා තෙක් වලංගුවී පවතිනවා. හැබැයි එම කාලය තුළත් ඔහුගේ විධායක ජනාධිපති බලතල ඉවත් වෙනවා. මේ සංශෝධන යටතේ අග‍්‍රාමාත්‍යවරයාට අලුත් බලතල ලැබෙන නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ ධුර කාලය සැප්තැම්බර් 02වැනිදා වන තෙක් තිබුණත් විසිවැනි සංශෝධනය සම්මත වී මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුව තිබෙනවා. ඒ නිසා අලුත් බලතල සහිත අග‍්‍රාමාත්‍යවරයා පත්වන්නේ අලුතින් තෝරා පත්කර ගන්නා පාර්ලිමේන්තුවක් තුළදීයි. ඒ නිසා ඉන්න අගමැතිවරයාට කිසිම බලතල වැඩිවීමක් සිදුවන්නේ නැහැ.

අලුත් පාර්ලිමේන්තුවේදී අග‍්‍රාමාත්‍යවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කර තිබෙනවා. මැතිවරණයකට ඉදිරිපත් වීමේදී තමාගේ අගමැතිවරයා කවුරුන්ද යන්න නම් කිරීමට දේශපාලන පක්‍ෂවලට හැකියාව තිබෙනවා. එහෙම නම් කරන ලද දේශපාලන පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ 50%ට වඩා මන්ත්‍රී බහුතරය ලබාගන්නා අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් ඔහුව අග‍්‍රාමාත්‍යවරයා හැටියට පත් කළ යුතුව තිබෙනවා. නම්කර නොතිබුණොත් සහ 50%ට වඩා ලබාගෙන තිබුණොත් ඒ වගේම නම්කරලා තිබුණත් 50%ට වඩා අරගෙන නොතිබුණොත් අගමැතිවරයා වශයෙන් කෙනෙකු නම් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා. එසේ නම් කරන පුද්ගලයා පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේදීම පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් අනුමත කරගත යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව රැස්වී පළමු සැසිවාරයේදී කථානායකවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා තෝරා පත්කරගත යුතු වෙනවා. මාසයක් ඇතුළතදී එම පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයාව පත්කරගත යුතු වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ධුර කාලය පාර්ලිමේන්තු ධූර කාලයට සමාන්තරව පවතිනවා. පාර්ලිමේන්තුවේ බලය එක් පැත්තකත් ජනාධිපතිවරයාගේ බලය තවත් පැත්තකත් තිබුණොත් ඇතිවන ගැටීම වැළැක්වීමට මේ තත්වය හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම තෝරා ගන්නා ජනාධිපතිවරයා ධුර කාලය දරන සීමාවේදී කිසිදු පක්‍ෂයක සාමාජිකයෙකු හෝ විය නොහැකියි. ඒ වගේම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය මුළුමනින්ම අහෝසි කොට තිබෙනවා. පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් කිරීමේ බලයත් මුළුමනින්ම ඉවත් කොට තිබෙනවා. පහුගිය කාලය පුරාම ජනාධිපතිවරයාගේ වුවමනාවන්ට අනුව පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කළ හැටි අපි දැක්කා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාර්ලිමේන්තු බලය අස්ථාවර වූ අවස්ථාවේදී සැසි වාරය අවසන් කළා. වර්තමාන ජනාධිපතිවරයාත් අවසන් කළා. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිශාවට ඉතාම වැදගත් පියවරක් තබා තිබෙනවා.

අපේ රට මුහුණ දෙමින් තිබෙන සමාජයීය, ආර්ථික, දේශපාලන අර්බුදයන්ට මේ විසිවැනි සංශෝධනයෙන් පිළිතුරු ලැබෙයි කියලා අපේ කිසිම විශ්වාසයක් නැහැ. ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා වෙනත් දේශපාලන අරගලයක් අපට තිබෙනවා. ඒ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කරගැනීම සඳහා අවස්ථාවක් අපට තිබෙනවා. මේ පාර්ලිමේන්තුවට මෑත ඉතිහාසයේ ඉදිරිපත් කර තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ සංශෝධනය තමයි, මේ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනය. 17වැනි හා 19වැනි සංශෝධන හැරුණුකොට අනෙක් හැම සංශෝධනයක්ම ඉදිරිපත් කර තිබුණේ බලයේ ඉන්න කණ්ඩායමේ බලය ශක්තිමත් කර ගැනීම සහ බලය දීර්ඝ කර ගැනීමේ අරමුණින්. නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණ පද්ධතිය, ව්‍යවස්ථා සභාව වගේ ආයතනයන් ශක්තිමත් කිරීමට අවස්ථෘව ලබාදී තිබෙනවා. මේක අවසන් ලියවිල්ල ලෙස අපි සලකන්නේ නැහැ. අනෙක් දේශපාලන පක්‍ෂවලටත් තමන්ගේ අදහස් ඉදිරිපත් කර සාකච්ඡුා කරන්න සූදානමක් තිබෙනවා. සෑම කෙනෙකුටම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන විවෘත සංවාදයකට අපි ලැහැස්තියි. දේශපාලන පක්‍ෂ විතරක් නෙවෙයි, විවිධ සංවිධාන, පුරවැසි කණ්ඩායම් එක්කත් සාකච්ඡුාවට අපි සූදානම්. හැබැයි තව කණ්ඩායමක් ඉන්නවා, සාකච්ඡුාවෙන්, සංවාදයෙන් කරුණු කීමෙන් පලක් නැති. ඔවුන් ත‍්‍රාඩ දේශපාලන අරමුණකින් මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කරනවා. එවැනි ත‍්‍රාඩ කණ්ඩායම්  එක්ක සාකච්ඡාවකින් කිසිදු ප‍්‍රයෝජනයක් නැහැ. මේ විසිවැනි සංශෝධනය ගෙන ඒමට පෙර හාමුදරුවන් වහන්සේලා පිරිසක් යම් මත ඉදිරිපත් කරන හැටි අපි දැක්කා. උන් වහන්සේලා එක්ක සාකච්ඡාවට අපි සූදානම්. මේ සංශෝධනය අනුව රට බෙදීමට තුඩු දෙන කරුණු තිබෙන්නේ කොතැනද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇහිරීම සඳහා කරුණු තිබෙන්නේ කොතැනද, ආදී වශයෙන් පෙන්වා දෙනවා නම් ඒ ගැන සැලකිල්ලට ලක්කොට සංශෝධනය කරන්න සූදානම්. එම අවබෝධය මත පදනම්ව මේ කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමට අපි එකඟයි. අනෙකුත් පක්‍ෂ සමගත් අපි සංවාදට එනවා.

හැබැයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එක්කත්, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්කත් දිගු සංවාදයක් තියෙයි කියලා අපි හිතන්නේ නැහැ. සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් අපිට තියෙයි. හැබැයි විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවාද නැද්ද යන සාකච්ඡාවක් ඔවුන් සමඟ තිබිය නොහැකියි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මුළු ජනවරමම තිබෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටයි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පළමු කොටම මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ යුතු බව අපි හිතනව. එකඟ නම් අඩුපාඩුකම් ගැන අපි සාකච්ඡා කරමු. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහත්මයාටත් ජනවරම තිබෙන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට. ඔහුගේ පක්‍ෂය අවස්ථා දෙකකදී මේ සම්බන්ධයෙන් එකඟත්වය පළකර තිබෙනවා. එහෙනම් ඔහුගේ ස්ථාවරයත් රටට ප‍්‍රකාශ කළ යුතු වෙනවා. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට දිගින් දිගටම එකඟ නොවූ අය ඉන්නවා. ඔවුන් එක්ක මෙය අහෝසි කිරීමට එකඟ කර ගැනීමට සාකච්ඡාවක් අපට තිබෙනවා. හැබැයි මේ කෙරෙන සාකච්ඡාවල සීමා මායිම් ඉතා නිරවුල්ව අපි සටහන් කර ගන්නවා. හැබැයි සාකච්ඡාවලට මුවාවී දිගට ඇදගෙන යන සාකච්ඡාවලට අපි සූදානම් නැහැ. මේ ගෙන එන ලද සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් 150කට වැඩි බහුතරයක් අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු ඉන්නේ හය දෙනයි. දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම, රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩාය වගේම  මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කණ්ඩායමත් මෙහෙයවා ගැනීමේ වගකීම රනිල්, මෛත්‍රී, මහින්ද තුන් දෙනාටම තිබෙනවා. මේ තුන් දෙනාටම තිබෙන ජනවරම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටයි. ඒ නිසා ඔවුන් තිදෙනාම තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමට මෙය අහෝසි කිිරීම වෙනුවෙන් උපදෙස් ලබාදිය යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ 2/3ක විශේෂ බහුතරයෙන් මෙය සම්මත කර ගැනීමට අපගේ උපරිම උත්සාහය දරනවා. මේ වෙනුවෙන් මාධ්‍යවේදීන්, ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් මුණ ගැහිලා විවිධ සමාජ බලවේග සමඟ ඉදිරි දින කිහිපය ඇතුළේ සාකච්ඡා කරනවා. සංශෝධනය පිළිබඳව පුළුල් සමාජ කථිකාවක් මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර ගැනීමට අපේ පැත්තෙන් තැබූ පියවර සාර්ථක කරගැනීම සඳහා උපරිම කැපවීමෙන් ක්‍රියාකරන බව ප‍්‍රකාශ කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමට ඡන්ද ක‍්‍රමය වෙනස් විය යුතුයිද කියන සාකච්ඡාව ඇතිවී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය නව ඡන්ද ක‍්‍රමයක් යටතේ පැවැත්වූවා. ඒ ඡන්ද ක‍්‍රමයට අනුරූපී ඡන්ද ක‍්‍රමයක් පළාත් සභා මැතිවරණයට යොදාගන්න පාර්ලිමේන්තුවේ අනුමත කොට තිබෙනවා. කවර හෝ පිරිසක් විසින් මේ ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම සඳහා යෝජනාවක් ගෙන එනවා නම් ව්‍යවස්ථාව හැදීම සඳහා දැනට තිබෙන කමිටුවේ එකඟතාවය අනුව 90%ක් පමණ කටයුතු අවසන් කර තිබෙනවා. අපිත් ඒ වෙනුවෙන් ලැහැස්තියි. මේ ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමේ යෝජනාව අනුමත කරන්නත් අපි ලැහැස්තියි.

තමන් නියෝජනය කරන පක්‍ෂයේ ප‍්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට අනුව මහජන නියෝජිතයින් කටයුතු කරනවා නම් ඒ සභාවන් ස්ථාවරයි. පළාත් පාලන ආයතන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 437ක් ඉන්නවා. අපේ 437 දෙනාම පක්‍ෂය ගනු ලබන තීරණවලට අනුව කටයුතු කරනවා. අනෙක් පක්‍ෂවල අය සල්ලි දුන්නු පැත්තේ කෙනා වෙනුවෙන් සභාපතිකමට ඡන්දය දෙනවා. මේ විකිණෙන දේශපාලන සංස්කෘතියට ඡන්ද ක‍්‍රමවලින් ස්ථාවරභාවයක් ගන්න බැහැ. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපි තීන්දුවක් ගත්තා, කිසිම පක්‍ෂයකට සහයෝගය නොදෙන්නත් ඒ ඒ පළාත් පාලන ආයනය තුළ වැඩිම සභිකධුර ගත් පක්‍ෂයට බලය පිහිටුවන්න දෙන්නත් ඕනෑ කියලා. සභාව පිහිටුවන්න සාධාරණ අයිතිය තියෙන ඒ පක්‍ෂයට ජනතාවගෙන් වැඩි ප‍්‍රමාණයක් ඡන්දය දී අනුමත කර තිබෙනවා. ඒ පක්‍ෂය ආයතයේ බලය පිහිටුවන්න ක්‍රියා කිරීමේදී අපි හැම තැනකදීම ස්වාධීන වුණා. අනෙක් කණ්ඩායම් තුනම මන්ත්‍රීවරුන් විකිණෙන ප‍්‍රමාණයට අනුව බලය පිහිටුවීම තීරණය වුණා. අස්ථාවරයත්වය ඇතිවුණේ ඒ මතයි. ඒ නිසා අස්ථාවරත්වය ඇතිවෙන්නේ ඡන්ද ක‍්‍රමය මත නෙවෙයි. පවතින දේශපාලන සංස්කෘතිය නිසයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්