ශ්‍රී ලංකන්එයාර් ලයින්ස් ගිය වසරේ පාඩුව බිලියන 19.1යි. මිහින් ලංකා පාඩුව මිලියන 455යි

 

 

පසුගිය කාලයේදී රාජ්‍ය හිමිකාරීත්වය යටතට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් මිහින් ලංකා ගුවන් සමාගමත් දැවැන්ත අලාභ වාර්තා කර තිබෙන බව නිළ දත්ත මගින් අනාවරණය වේ.

මේ අනුව, 2010 වසරේදී රුපියල් බිලියන 6.03 ක අලාභයක් ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිය වසරේදී රුපියල් බිලියන 19.1 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර තිබේ. මීට අමතරව, ගිය වසරේදී මිහින් ලංකා ගුවන් සමාගම වාර්තා කර තිබෙන අලාභය රුපියල් මිලියන 455 කි. මහ බැංකු දත්ත වලට අනුව ගිය වසරේදී ශ්‍රී ලංකන් ආදායම සියයට 16.3 කින් රුපියල් බිලියන 78.9 ක් දක්වා වර්ධනය වී තිබියදීත් මෙහෙයුම් වියදම් සියයට 32.2 කින් වර්ධනය වී රුපියල් බිලියන 98 ක් වීම නිසා මෙම අලාභය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවසන් වරට ලාභ ලැබුවේ 2008 වසරේදීයි. 2009 වසරේදී සමාගම රුපියල් මිලියන 9,996.5 ක අලාභයක් වාර්තා කළේය. මේ අතර, මිහින් ලංකා ගුවන් සමාගම 2010 වසරේදී රුපියල් මිලියන 788 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර තිබූ අතර ගිය වසරේ ලැබූ අලාභයේ අඩුවීමක් මේ අනුව දැකිය හැකිය.

කෙසේවෙතත්, රජය සැලසුම් කර තිබෙන්නේ මෙම ගුවන් සමාගම් ගොඩ නැගීම වෙනුවෙන් වසරකට ජනතාව ගෙවන බදු මුදල් වලින් ඩොලර් මිලියන 100 ක් බැගින් වසර 05 ක කාලයක් තුළ ආයෝජනය කිරීමටයි.

2010 වසර වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව තිබු‍ණේ රුපියල් බිලියන 6.8 ක් තරම් අඩු ශුද්ධ වත්කම් ප්‍රමාණයකි. 2009 දී 4,969 ක්වූ ශ්‍රී ලංකන් සේවක පිරිස 2011 වනවිට 5,487 ක් දක්වා වැඩිවී තිබෙන අතර ගුවන් සමාගමට වැඩිපුරම පාඩු සිදුවන්නේ වැඩි තරගකාරීත්වයක් තිබෙන යුරෝපීය ගමනාන්ත වලදීයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්