තෙල් ගනුදෙනුවෙන් කෝටි 100ක් පාඩුයි

අවිධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අත්සන් කළ තෙල් මිලදී ගැනීමේ ගිවිසුමක් තවත් මාස 6කින් දීර්ඝ කිරීම නිසා රටට රුපියල් කෝටි 100කට වඩා පාඩුවක් සිදුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගනුදෙනුවේ එක් තෙල් තොගයක් සඳහා දැනටමත් ගෙවීම් සිදුකර ඇති අතර දෙවන තෙල් තොගයට ණයවර විවෘත කර ඇත.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්සත් අරාබි එමිරේට්ස් හි ෆුජායිරා පෙට්‍රෝලියම් සමාගම අඩු සල්ෆර් තෙල් නැව් 4ක් මාස 6ක් තුළ සැපයීමට මෙසේ ගිවිසුම් අත්සන්කර ඇත. එක් නැවක මෙට්‍රික් ටොන් 35000 – 40000 තෙල් අඩංගුවේ. සැප්තැම්බර් 21වන දා අවසන් කරන ලද ටෙන්ඩරයට සිංගප්පූර් ප්ලැට්ස් අඩු සල්ෆර් තෙල් ටොන් එකක් ඩොලර් 54කට ලබාදී ඇත.

පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් තවත් මාස 6කට මෙම මිලටම තෙල් ලබාගැනීමට අනුමැතිය ලබාදී ඇත්තේ සංශෝධිත මිල සූත්‍රයක්ද එකතුකරමිනි. එනම් අඩු සල්ෆර් තෙල් යනු ටොන් 1කට ඩොලර් 54ක් සහ අධි සල්ෆර් තෙල් මිලේ එකතුව බවයි. මේ අනුව ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අධිසල්ෆර් තෙල් සඳහා ටොන් එකකට වැඩිපුර ඩොලර් 54 බැගින් ගෙවීමට සිදුව ඇත. මෙට්‍රික් ටොන් 40000ක තෙල් නැවක් සඳහා ඒ අනුව ඩොලර් මිලියන 1.88ක් හෙවත් රුපියල් කෝටි 20ක අමතර මුදලක් ගෙවීමට සිදුවේ. තෙල් තොග 4 සඳහා සමස්ථ පාඩුව රුපියල් කෝටි 100කට ආසන්න වේ.

මෙම ගනුදෙනුව සඳහා සම්බන්ධවී ඇත්තේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් කළින් අසාදු ලේඛණයට ඇතුලත් කරන ලද සමාගමකි. පසුගිය කාලයේදී එම සමාගම ඩොලර් ලක්ෂ දෙකක් ලබාදී අසාදු ලේඛණයෙන් ඉවත්ව ගනුදෙනු සඳහා ඉදිරිපත්ව ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්