
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පුද්ගලික රෝහලක නේවාසිකව ප්රතිකාර ලබා ගැනිමට අවස්ථාව ලබාදෙන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන්ට අද නියෝග කළේය.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් කළ ඉල්ලීමක් අනුව එම නියෝගය කරනු ලැබිණි.
එලෙස නේවාසික ප්රතිකාර ලබන කාලය තුළදි හිටපු හමුදාපතිවරයාගේ ආරක්ෂාව සදහා පියවර ගන්නා ලෙස විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කෙරිණි.
හමුදාව හැරගිය අයට නවාතැන්දීම හා ඔවුන් රජයට ඇති පක්ෂපාතී භාවය නැති කරලීමට කටයුතු කිරිම පිළිබදව නඩුව අද විභාගයට නියමිතව තිබුණි.
සරත් ෆොන්සේකා සමග ඔහුගේ ලේකම්වරයෙකුව සිටි හිටපු කපිතාන්වරයෙකු වන සේනක හරිප්රිය ද සිල්වා මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර තිබේ.
මෙම නඩුව ආරම්භයේදී නීතිඥ පීරිස් අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සරත් ෆොන්සේකාට හමුදා සේවයේ සිටියදී එල්.ටී.ටී.ඊයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් ඔහුගේ පෙනහළුවලට සිදුවූ තුවාල නිසා පෙනහළු ආබාධයකින් පසුවන බව ප්රකාශ කළේය.
ඒ අනුව වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහලක නේවාසිකව ප්රතිකාර නොගතහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වියහැකි බැවින් ඒ සදහා නේවාසිකව ප්රතිකාර ලබා ගැනිම අවශ්ය බව වෛද්ය විශේෂඥයෙකු වන වජිර තෙන්නකෝන්ගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඊට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.









