හමුදා සේවයෙන් පලා ගිය සෙබළුන් සිය සේවයට යොදා ගනිමින් ඔවුන් ජනරජය කෙරෙහි දක්වන පක්ෂපාතීත්වයෙන් හා රාජපාක්ෂික භාවයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හා ඔහුගේ ලේකම් සේනක සිල්වා මහතාට එරෙහි නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ලබන 21 වනදාට නැවත එම නඩුව කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට (21) පැමිණිල්ලේ සාක්කිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරන ලෙස ද නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හමුවේ විභාගයට ගනු ලබන මෙම නඩුව මගින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා 41 ක් යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇත.
ඊයේ (07) නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත මුදාහැර ඇති පළමු විත්තිකාර සරත් ෆොන්සේකා මහතා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටි අතර දෙවැනි විත්තිකාර සේනක සිල්වා මහතා අසනීප තත්ත්වයක් මත පැමිණ සිටියේ නැත.









