රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය තව දුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් වසරක් දක්වා බල පැවැත්වෙන පරිදි මෙම කොමිසම පසුගිය මාර්තු මාසයේදී පත්කරනු ලැබූ අතර රාජපක්ෂ පාලන සමයේ අවසන් වසර පහ තුළ සිදු කරනු ලැබූ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව විමර්ශන කටයුතු මෙම කොමිසම මගින් සිදු කෙරිණි.
කොමිසම වෙත මේ වනවිට වංචා දූෂණ සම්බන්ධ පැමිණිලි 150ක් පමණ ලැබී ඇති බවත් ඉන් විමර්ශන කටයුතු අවසන් කර ඇත්තේ පැමිණිලි දෙකක පමණක් බව පැවසේ. තවද මහා පරිමාණ වංචා දූෂණ පැමිණිලි 30ක් පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත් ඒවා පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමට දීර්ඝ කාලයක් අවශ්ය බවත් පැවසේ.
2016 වසරේ මාර්තු මාසයෙන් කොමිසමේ නිල කාලය අවසන් වීමට නියමිත අතර එම කාලය තුළ ලැබී ඇති පැමිණිලි පිළිබඳවත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති පැමිණිලි සම්බන්ධයෙනුත් අවසන් තීන්දුවකට එළඹීමට නොහැකි වීම කොමිසමේ කාලය දීර්ඝ කිරීමට බලපා තිබේ.
එසේම කොමිසම වෙත ලබා දී ඇති බලතල වැඩි කිරීමටත්, විමර්ශන සිදු කරන කාල පරාසය දීර්ඝ කිරීමටත් කොමිසමේ නිලධාරීන් ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇති බවත් වාර්තා වේ.









