හිතුවක්කාර බ්‍රෑන්ඩ් !

හිතුවක්කාර බ්‍රෑන්ඩ් !

2010 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ ශූරයින් වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායම ය. නමුත් ඔවුන් එසේ ලෝක ශූරයින් ලෙස වැජඹෙන්නට පෙර 2009 වසරේදී ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ කන්ඩායම සමග තරගාවලියකට සහභාගි විය. එය පැවතුනේ ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ තණතීරුවලය. කෙසේ නමුත් එහිදී ශ්‍රි ලාංකීය සිංහ පුත්‍රයෙක් අනුකම්පා විරහිත දරදඩු ප්‍රහාරයක් දියත් කරන්නේ සියල්ලන්ගේම ඇස් උඩ ගොස් එදෙස බලා සිටින්නට පමණක් ඉඩ ප්‍රස්ථා ලබා දී ය.

ඒ භානුක රාජපක්ෂ නම් සොදුරු හිතුවක්කාරයා ය.

එදා ඔහු පන්දු 111කින් ප්‍රභල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලකුණු 154ක් කැටයම් කර ගත්තේ ය.

කොළඹ රාජකීයන් බිහි කළ මෙම රාජකීය සන්නාමය කුඩා කල සිටම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඔහුට පෙම් බඳින්නේ ඔහුගේ තිබූ ඒ අතිවිශිෂ්ඨ හැකියාව නිසාවෙන් ය. හොදම පාසල් ක්‍රීඩකයා වෙමින් 2010 ලෝක කුසලානයේ ශ්‍රි ලාංකීය මාතාව වර්ණවත් කළ ඔහු එම තරගාවලියේ සිව්වන වැඩිම ලකුණුලාභියා විය. අද ජගත් ක්‍රිකට් පිටිය ජයගත් ජෝ රූට්, බෙන් ස්ටෝක්ස් වැන්නන්ද සිටියේ භානුකට වඩා හුගාක් පහළින් ය. භානුක එම තරගාවලියේ ඉනිම් හයකදී ලකුණු 253ක් රැස් කර අතර ඊට අර්ධ ශතක ද්විත්වයක් අන්තර්ගත විය. 63.25ක පිතිකරන සාමාන්‍යයක් රදවාගත් ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 92ක් ලෙස සටහන් විය.

එදා සිට භානුක රාජපක්ෂ නම් පුද්ගලයාට ප්‍රේක්ෂකයන් පෙමින් වෙලෙන්නට පටන් ගත්තා යැයි කිව හැක.

2010 වසරේ අප ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ කන්ඩායම එතෙක් මෙතෙක් පහළ වූ අපගේ හොදම දක්ෂතම 19න් පහළ කන්ඩායම මෙන්ම හිතුවක්කාරම ක්‍රිකට් කන්ඩායම කිව්වාට කම් නැත.

උදාර ජයසුන්දර, භානුක රාජපක්ෂ, රුමේෂ් බුද්ධික, අක්ෂු ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, කිත්රුවන් විතානගේ, චරිත් ජයම්පති සේම අතිදක්ෂයින් රැසක් එවර සිටියේ ය.

මෙතෙක් පහළ වූ හිතුවක්කාරම කන්ඩායම ඔවුන් ය.

එදා සිට ඇතැමුන් පෙම් බැදි භානුක හට ජාත්‍යන්තර පිටියට පා තබන්නට වසර දහයක් බලා සිටින්නට විය.

එදා ඔහු වයස අවුරුදු 19දී සුපිරි පකිස්තානු ක්‍රීඩක වසීම් අක්‍රම් පැවසූවේ ඔබ නැවත මා හට මුණ ගැසෙනා විට ජාතික කන්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස මුණ ගැසෙනු ඇතැයි කියා ය. ඔහු එතරම් ලොකු අනාගතයක් කුඩා වයසේදීම පෙන්වූ හිතුවක්කාර සිංහයෙක් ය.

කෙසේ නමුත් භානුක රාජපක්ෂ නම් නාමය ලක්වාසි සියලු ප්‍රේක්ෂකයන් හට බ්‍රෑන්ඩ් එක බවට පරිවර්තනය වුයේ මීට වසර දහයකට පසුව බව මා පවසන්නේ ය.

ඒ 2019 වසරේ ඔහු ක්‍රීඩා කළ මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලියේදී ය.

2019 වසරේ ශ්‍රි ලංකා කන්ඩායම ත්‍රස්ත බියෙන් පීඩා විඳි පකිස්තානයේ සංචාරයකට ලක ලෑස්ති විය. කෙසේ නමුත් එවකට ජාතික කන්ඩායමේ සිටි ක්‍රීඩකයින් පෙර ත්‍රස්ත භීතිකාවේ මතකයන් සමග එම සංචාරයෙන් පස්සට යද්දි මර බයට බම්බු ගසන්නැයි කියා ඔහු ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ය.

ඔහුගේ සහභාගිත්වය තහවුරු වීම නිසාවෙන් ඔහුව ශ්‍රි ලංකා සංචිතයට එක් කර ගන්නට ශ්‍රි ලංකා තේරිම් කමිටුවට සිදු විය.

එම තරගාවලියේ දෙවෙනි විස්සයි විස්ස තරගය පැවැත්වූයේ ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂකයාට ඓතිහාසික සුන්දර මතකයන් ඇති ගඩාෆි ක්‍රීඩාංගණයේ ය.

දිනය 2019 වර්ෂයේ ඔක්තෝබර් 09 වෙනිදා ය. එදා පකිස්තාන ප්‍රේක්ෂකයන් මහ ඉහළින් ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂකයන් පිලි ගත්තේ ඔවුන්ට නැවතත් ක්‍රිකට් වසන්තය කැන්දාගෙන ආ රාජ කුමාරයා අප වන බැවිනි.

තරගයේ පලමුවෙන්ම පන්දුව පහර දීමට දසුන් ශානකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කල ශ්‍රි ලංකා කන්ඩායමට සිදු විය.

අමතක නොකර යුතු කරුණක් ඇත. එදා අප සිංහයින් නවකයින්ගෙන් පුරවාගෙන නව නායකත්වයක් යටතේ මේ සටන් කරන්නේ එවකට ලොව අංක එකේ විස්සයි විස්ස කන්ඩායම වූ පකිස්තානය සමග ඔවුන්ගේ රටේම ය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා ඉනිම විටෙක ලකුණු 41කට කඩුලු දෙකක් ලෙස සටහන් විය.

එතැන් පසු මුළු ගඩාෆි ක්‍රීඩාංගණයම තනි සිංහයෙකුගේ සිංහසෙයියාවකට නතු විය. සිංහ තේජසින් ලාංකීය ගාම්භීරත්වයෙන් ඉහවහ ගිය ගඩාෆි පිටිය ඊට වසර 25කට පෙර තිබූ සුන්දර මතක සටහන් ද ප්‍රේක්ෂක සිත් තුළට නැවත නැවතත් කා වද්දන දසුනක් විය. ඒ තනි සිංහයෙකුගේ ප්‍රහාරයක් නිසාවෙන් ය.

ඒ අන් කිසිවෙකු නොව රාජපක්ෂවරයෙකුගේ අමර ගැහිල්ලක් ය.

එවකට ලොව අංක එකේ සිටි පකිස්තානය ඔවුන්ගේ ‍රටේ මෙතරම් අන්ත අසරණ වෙනවා මා දැක නැත. පිටිය සිසාරා එකම ගිණිකෙළියක් ය.

ශෙහාන් ජයසූරියගේ අගනා සහයෝගය මැද පන්දුවට වෛර කළ භානුකගේ පිත්ත සෑම විටම පන්දුව රිදවන්නේ හයේ හතරේ සීමාව සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගනිමිනි.

එදා භානුක පකිස්තාන පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් හැඩූ කඳුලට පත් කරන්නේ පන්දු 48කින් අගනා ලකුණු 77ක් රැස් කර ගනිමිනි.

ඊට ප්‍රේක්ෂකයන් හට උඩපන්දු පුහුණු කල දැවැන්ත හයේ පහරවල් හයක් සහ හතරේ සීමාවේ ප්‍රේමය සනිටුහන් කළ හතරේ පහරවල් 4කින් පන්දුව හතරේ සීමාව සිප ගන්නට ඔහු සැළැස්සුවේ ය.

විටෙක ලකුණු 41කට කඩුලු දෙකක් දැවී ගිය ශ්‍රි ලංකා ඉනිම අවසානයේ නතර වූයේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු හයකට ලකුණු 182ක් රැස් කරමින් ය.

“මෙච්චර කාලයක් මේ මනුස්සයා කොහෙද හිටියේ ? ඇයි මෙච්චර කාලයක් මේ මනුස්සයා හංගගෙන හිටියේ ??? “

දේශීය මෙන්ම ජාත්‍යන්තර පවා භානුක රාජපක්ෂ නම් මනුස්සයා ගැන වැඩි වැඩියෙන් කතා කරන්නට ගත්තේ මේ අතිවිශිෂ්ඨ ප්‍රහාරය නිසාවෙන් ය. ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයා මෙතරම් භානුක හට ඇලුම් කරන්නට මේ ඉනිම ප්‍රභල වූවා යැයි අද කිසිදු සැකයක් නැත. භානුක නම් ප්‍රහාරකයාට කරන්නට හැකි හරිය හරියටම ලෝකයා දැන ගත්තේ එදා ය.

අවසානයේ තරඟය අප ජයගත්තේ ය. එම තරගාවලියේ මිරැකල් කරමින් දසුන් ශානක නම් කෝඩුකාර නායකයාගේ යොවුන් සිංහ රංචුව ලොව අංක එකේ වැජඹුණු පකිස්තානයේ රජ ඔටුන්න ගලවා දමන්නේ තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් ය.

එදා ලොව අංක එකේ පකිස්තාන කන්ඩායමේ කපිතාන්වරයා වූ සර්ෆරාස් අහ්මඩ් හට ඉන් පසුව යන එනමං නැති වූවේ ය. ඒ සියල්ලටම හේතුව ලක් අම්මාගේ උතුම් සිංහයින්ගේ ප්‍රහාරය ය.

අද භානුක රාජපක්ෂ නාමය ප්‍රේක්ෂකයා තුළ රාජකීය බ්‍රෑන්ඩ් එකක් වී හමාර ය.

කෙසේ නමුත් මෙවන් බ්‍රෑන්ඩ් එකක් වීමට ක්‍රීඩකයෙක් හට ලේසි නැත. මෙතරම් කෙටි කාලයක් තුල ඔහු ප්‍රේක්ෂකයාට හදවත් තුළටම කිඳා බැස අවසන් ය.

ඒ ඔහු තුළ ඇති අපරිමිත හැකියාවේ තරම ය.

“සල්ලි එපා… රට වෙනුවෙන් ගහන්න දෙන්න.” කියමින් පිත්තෙන් මෙන්ම අසාධාරණ හමුවේද සටන් වැදී මේ හිතුවක්කාරයාගේ හැකියාව උපතින්ම දායාද වූ හැකියාවක් බව ඔහු ලැබූ අවස්ථාවන් හී මැනවින් ලෝකයාට ඔප්පු කර ඇත.

ඉතිං භානුක රාජපක්ෂ නම් මේ හිතුවක්කාරයා එසේ ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් එකක් වූයේ ඉහත ලියූ ඒ සුන්දර ඉනිම නිසාවෙනි. ලෝකයක් භානුක රාජපක්ෂ ගැන දැනගත් ඒ අති සුපිරි ඉනිම එය වන බැවිනි.

©️ Rishie Bro

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්