හිටපු අගවිනිසුරුට එරෙහි පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරෙක් ඉල්ලා අස්වේ

හිටපු අගවිනිසුරුට එරෙහි පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරෙක් ඉල්ලා අස්වේ

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහි නඩුවේ විභාග කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මහතා ඉවත් වන බව අද(28) ප්‍රකාශ කර තිබේ.

පසුගිය දෙසැම්බර් මස තුන් වැනිදා මරදාන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා, පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අත්හිටුවීමේ නියෝගය සම්බන්ධව පළකර ඇති අදහස් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර,  ප්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ සිරිල් යන මහත්වරු විසින් මෙම පෙත්සම ගොනුකරමින් පවසා තිබේ.

පැමිණිල්ලට අදාල නඩුව සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසෙන යන විනිසුරුවරුන් ඉදිරියේ අද(28) කැඳවා තිබූ අතර එහිදී විනිසුරු සිසිර ද ආබෲ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා මෙම පෙත්සම සළකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බවය.

ඒ අනුව පෙත්සම යලි කැඳවීම සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කල් තැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මීට ඉහත අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරු ද මෙම පෙත්සම සළකා බැලීමේ කටයුතුවලින් ඉවත්වීමෙන් විභාග කටයුතු කල් තබා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්