සිය ක්රිකට් දිවියෙන් අද (24) දිනයේ සමුගන්නා ශ්රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ පිතිකරුවකු, කඩුළු රකින්නකු වූ කුමාර් සංගක්කාර හට සුභ පැතීමට පැමිණ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බ්රිතාන්යයේ මහකොමසාරිස් ධූරය බාර ගන්නැයි විශේෂ ඉල්ලීමක් කර තිබේ. එම උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වී ඇත්තේද ජනාධිපතිවරයාය. මෛත්රීපාල සිරිසේන මහතාට අමතරව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද එම අවස්ථාවට එක් වී තිබේ.
කුමාර් සංගක්කාරගේ සමුගැනීම වෙනුවෙන් එක් වූ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක සුනිල් ගවස්කාර් අන්තර්ජාතික හිටපු ක්රිකට් ක්රීඩකයින්ගේ සංගමයට එක් වන්නැයි ආරාධනා කර තිබේ. එම අවස්ථාවේදී ඔහු ප්රකාශ කර ඇත්තේ ‘හිංදි භාෂාවෙන් කුමාර් යනු යෞවනයා බවත් සියලු ක්රිකට් ක්රීඩකයින්ගේ හදවතේ ඔබ කුමාර්මයි‘ යනුවෙනි. සංගක්කාර වෙත බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ද සුබ පැතුම් එක්කරතිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ සංගක්කාර අද දිනයේ නික්ම යාමත් සමග කඩුල්ල පසුපසත්, ඉදිරියේත් මින් ඉදිරියට පාළුවක් දැනෙනු ඇති බවයි. ශාරුක් ඛාන්, කුමාර් සංගක්කාර හදුන්වා දී ඇත්තේ ‘‘මගේ මිනිසා’’ ලෙසයි. සංගක්කාර දැක් වූ දක්ෂතා ඉතා විශිෂ්ඨ බවද ෂාරුක් ඛාන් සිය ටිව්ටර් ගිණුමේ සටහන් කර ඇත.











