අයි.එස්. ත්රස්තවාදීන් සමග දරුණු ගැටුම් පවතින සිරියාව තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ලබන අප්රේල් මස 13 වැනි දින පැවැත්වීමට සූදානම් බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්රකාශ කර තිබේ. ඒ සිරියාවේ ගැටුම් අවසන් කර සටන් විරාමයක් ඇති කිරීම වෙනුවෙන් ඇමෙරිකාව හා රුසියාව අතර පොදු එකඟතාවයක් ගොඩ නැගීමත් සමගය.
අයි.එස්. ත්රස්තවාදීන් සමග සටන් ආරම්භ වූ මුල් කාලයේ (2012 වසරේදී) සිරියාව තුළ අවසන් වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැති අතර අසාද් විරෝධීන් එවර මහ මැතිවරණය වර්ජනය කළ අතර එහිදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජනාධිපති අසාද්ගේ බාත් පක්ෂයේ නියෝජිතයින් පමණකි.
මෙවර මහ මැතිවරණයට ජනාධිපති අසාද්ගේ පාලක බාත් පක්ෂයට පමණක් නොව විපක්ෂයේ දේශපාලන පක්ෂවලටත් ස්වාධීන කණ්ඩායම්වලටත් මහ මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවත් අවි දරන කණ්ඩායම් අවි බිම තබා මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවත් අසාද් ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට අයි.එස්. ත්රස්තවාදීන්ට එරෙහි සටන තීරණාත්මක ලෙස ඉදිරියට ගෙන යාමට සිරියානු ආරක්ෂක අංශ සමත් වී තිබේ. ත්රස්තවාදීන් සතුව පැවැති ප්රධාන නගර රැසක වැඩි භූමි ප්රමාණයක් මේ වනවිට සිරියානු ආරක්ෂක අංශ හා අයි.එස්. ත්රස්තවාදීන්ට එරෙහි කණ්ඩායම් විසින් අත්පත් කර ගැනීමට සමත් ව සිටිති.









