සියලු වෘත්තීය සමිති හෙට සිට කෙරවලපිටිය රැකගැනීමේ සටනේ – රංජන් ජයලාල්

සියලු වෘත්තීය සමිති හෙට සිට කෙරවලපිටිය රැකගැනීමේ සටනේ – රංජන් ජයලාල්

කෙරවලපිටිය බලාගාරය රැකගැනීමේ අරගලය සමගින් මෙරට විදුලි බලය සහ බලශක්ති පෞද්ගලික අංශයට විකිණිමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධතා හෙට (22) සිට රට පුරා දියත්කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මාධ්‍යය පැවසීය.

මෙම ක්‍රියාමාර්ග දියත් කිරීම වෙනුවෙන් කිසිදු දේශපාලන භේදයකින් තොරව විදුලි බල මණඩලයේ ආණ්ඩු පක්ෂයට අයත් වෘත්තීය සමිති ඇතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති පවා ඒකාබද්ධ වී ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලෙස ක්‍රියා කරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරුද වන රංජන් ජයලාල් වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අනුව හෙට සියලු වෘත්තීය සමිති නායකයින්ගේ අත්සිනින් යුතුව කෙරවලපිටිය බලාගාරය විකිණීමට එරෙහිව ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට එම වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. ලබන 26 වෙනි දින සිට දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදාහරිණ බවද අගෝස්තු දෙවෙනි දින සිට විදුලි බල මණ්ඩලයේ සියලුම කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට සහ කළු කොඩි දැමීමට එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව ඉදිරියේදී තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරමින් මෙම ජාතික සම්පත රැකගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්