පසුගිය මාර්තු 26 වෙනි දින ගැසට් නිවේදයක් මගින් ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු මාර්තු 27 වෙනි දින සිට වහාම ක්රියාත්මක වන පරිදි පහත දැමීම තුළින් ආණ්ඩුවේ ජාවාරම්කාරීන් හට බදු කොල්ලයකට ඉඩ සැලසෙන බවට තිබූ ප්රබල සැකය මේ වනවිට තහවුරු කර තිබේ.
මුදල් රාජ්ය ඇමති අද (29) නිකුත් කළ දිනමිණ පුවත්පතට ලබා දී තිබෙන ප්රකාශයකින් ඒ බව තහවුරු වේ. “පිටරට හාල්වලට අය කළ බද්ද අඩු කිරීමෙන් ගොවියාට කිසිම හානියක් නෑ – වරායේ සිරවී ඇති හාල් තොගය නිදහස් කර ගැනීමට සතියක සහනයක්“ යනුවෙන් අදාළ සිරස්තලය යොදා ඇත.
ආනයනික සහල් කිලෝග්රෑම් එකක් සඳහා අය කරන ලද රුපියල් 65ක බදු මුදල රුපියල් එක දක්වා අඩු කරන ලද්දේ මේ වනවිට වරායට ගොඩ බා තිබෙන සහල් තොගයක් නිදහස් කර ගැනීම සඳහා පමණක් බව “සිරවී ඇති සහල් තොගය නිදහස් කර ගැනීම සඳහා පමණක් සතියක කාලයක් සඳහා සහල්වලට මෙම සහනය බලපැවැත්වෙන බව“ ප්රකාශයෙන් රාජ්ය ඇමති රංජිත් සියඹලාපිටිය විසින් තහවුරු කර තිබේ.
ඔහුගේ මෙම ප්රකාශය අනුව බදු අඩු කිරීම කීරි සම්බා සඳහා පමණක් සීමා කර තිබෙන අතර අදාළ බදු පහත හෙළිමේ නිවේදනයේ එවැන්නක් සඳහන් කර නොමැත. වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ අදාළ සහල් තොගය ජනවාරි මාසයේදී ඇනවුම් කර ඇති බව ය. රාජ්ය ඇමතිගේ ප්රකාශය සහ සත්ය වශයෙන් ක්රියාවලිය පදනම් වී ඇත්තේ පොදුවේ සහල් ආනයන බද්ද කිලෝ ග්රෑමයක් වෙනුවෙන් රුපියල් 65 සිට රුපියල දක්වා අඩු කර තිබීම ය.










