සරසවි සේවකයන් අඛණ්ඩ වර්ජනයකට සූදානම්

වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව ලබන 6 වැනිදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ තීරණය කර සිටිති.

පසුගිය දිනවල වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක්‌ම ගත්තද තම ගැටලුවලට කිසිදු විසඳුමක්‌ නොලැබුණු හෙයින් අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට තීරණය කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනය ඊයේ (25) මාධ්‍ය වෙත පැවසීය.

අනධ්‍යයන කාර්ය මණ්‌ඩලවල වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අප්‍රේල් මස 26 වැනිදා මෙන්ම මෙම මස 8, 18 හා 23 යන දිනවලදී අවස්‌ථාව ලබාදී අමාත්‍යාංශය එම සාකච්ඡාවලින් මගහැරිය බවද එලෙස මගහැරීම මෙම සම්මේලනය දැඩි ලෙස හෙළා දකින බවද සඳහන් කළේය.

මෙලෙස සාකච්ඡාවලින් මග හැරීම නිසා විශ්වවිද්‍යාල වසා දැමීමට සිදුවනු ඇති බවට තම සම්මේලනයේ නියෝජිතයන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ප්‍රකාශ කළ විට ලේකම්වරයාගේ පිළිතුර වී ඇත්තේ “විශ්වවිද්‍යාල වසා දැමීම ප්‍රශ්නයක්‌ නෙමෙයි” යනුවෙන් බවද කී එම සංමයේ සභාපතිවරයා මෙවැනි පිළිතුරු ජනතාව අපේක්‍ෂා නොකරන බවද පැවසීය.

මෙම තත්ත්වය මත තමන් ආරම්භ කරන අඛණ්‌ඩ වැඩ වර්ජනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්