සඳාෙග් ලියුම

මේ දවස්වල තාත්තා ගෙදර එන්නෙ ම නැතිව මහින්ද මහත්තයා එක්ක රට වටේ යනවා කියන්නේ ඇත්ත ද අම්මේ. විදුරගේ යාළුවෙක් දැක්කලූ මාතලේ දී ස්ටේජ් එකක් හදනවා තාත්තාත්. නාමයෝජනා ලැබුණු දවස්වල තිබුණු ආඩම්බරකම් මහින්ද මහත්තයාගෙයි, ගෝලබාලයන්ගෙයි වැහිලා ගිහින් කියලා තමයි, විදුර නම් කියන්නේ. මහින්ද මහත්තයා හිතාගෙන හිටියේ අගමැති වෙන්න. ඒත් දැන් එතුමාට ඒ තනතුර ලැබෙන්නෙ නෑ කියලා දන්නවා. අපේ තාත්තලත් හිතාගෙන හිටියේ එතුමාට අගමැතිකම ලැබෙයි කියලා. දැන් ඉතින් දුකෙන් ඇති. එතුමා මේ පාර ඡුන්දයෙන් දින්න හ ම රට සංවර්ධනය කරනවලූ. ඇයි මෙච්චර කාලයක් එතුමා මොනව ද කළේ ? සංවර්ධනය නොවෙයි ද කියලා තාත්තාගෙන් අහන්න  ඕනෑ, අපට ඉතින් මහින්ද මහත්තයා දකිනවා වගේ බලන්න ඉන්නේ අපේ තාත්ත නේ. තාත්තා නිඳියන්නෙත්, අවදි වෙන්නෙත් මහින්ද කියාගෙන නේ.

විදුර නම් කියන්නේ යූ.ඇන්.පී. එකට වැඩි බලයක් එයි කියලා. ඊට පස්සේ මෛතී‍්‍ර මහත්තයයි, රනිල් මහත්තයයි එකතු වෙලා ආණ්ඩුව පිහිටුවයිලූ. අනේ මන්දා. ඔය දෙගොල්ලො ම ඔය විදියට දින සීයක් ආණ්ඩු කළා. ඒත් ඒක ඔහේ ගෙවිලා ගියා. අපි හිතුවේ, හොරු අල්ලලා, කුඩුකාරයන්ට දඬුවම් ලැබිලා හුඟක් ජාති වෙනස් වෙයි කියලා. ඒත් මොකුත් වුණේ නෑ නෙ. අම්මෙ, මිනිස්සුන්ට තිබුණ විශ්වාසේ ඒකෙන් බිඳිලා ගියා. අපි මෛතී‍්‍ර මහත්තයට කතිරෙ ගැහුවෙ මොන තරම් බලාපොරොත්තු තියාගෙන ද? එක වෙලාවකට හිතෙනවා අපි හරි මෝඩ මිනිස්සු කියලා. මේ මිනිස්සුන්ගෙ හැටි දැනගෙනත් ඒ අයට ම ඡන්දෙ දෙන්නේ. හොරු, මිනීමරුවො. ඒ හැම කෙනකුට ම අපි ඉතින් ඡුන්දෙ දෙනවා. අවසානේ අපි රැවටෙනවා. අර රගර් කී‍්‍රඩකයෙක් වාහනේ ගිනි අරන් මැරුණු කතාව දැන් වෙනස් වෙලා. මිනීමැරුමක් වෙලා තියෙන්නෙ කියලා රහස් පොලීසිය කියනවලූ අම්මේ. අජිත් රෝහණ ද මොකක් ද කියන අර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඒ දවස්වල ඒක වාහනේ ගිනි ගැනීමක් නිසා සිද්ධ වෙච්ච මරණයක් කියලා කීවා. දැන් ඒ වචන බොරු වෙලා. ඒක මිනීමැරුමක් වෙලා. කවු ද මැරුවෙ කිං ද මං ද හොයා ගන්න පොලීසියට බැරි වෙලා. ඒකට අම්මෙ අපේ ගමේ කිරිබණ්ඩා මාමා එයාගේ නැන්දා මරපු එක සුටුස් ගාලා සුමාන දෙකෙන් හොයා ගත්තේ. මොකක් හරි ලොකු පවුලකට, දේශපාලකයකුට සම්බන්ධ මිනීමැරුම් මේ රටේ අහු වෙන්නෙ ම නෑ. ලොකු හොරු, හොඳ මිනීමරුවො කරන දේවල සාක්කි ඉතුරු කරන්නේ නැතිව ඇති අම්මෙ එකත් එකට ම.

අනෙක් එක ඔය හොරකම්, මිනීමැරුම් ඔක්කො ම ගැන ආණ්ඩුවක් වුණත් හොයා බලන්නෙ ඡන්දෙ ළං වුණ හ ම විතර නෙ අම්මෙ. ඊට පස්සේ ඒක යට යනවා. හොඳට බලන්න. ගිය පාර මෛතී‍්‍ර මහත්තයා දින්නහ ම හැම දිහාක ම ඉන්න හොරු ගැන කීවා. ඒත් හරි එක හොරෙක් අල්ලලා හිරේට දැම්ම ද? සැකපිට අත්අඩංගුවට අරගෙන ඉස්පිරිතාලෙට යවන්න ද කියලා උසාවිය ඇහුවලූ වතාවක්. එහෙ ම රටක් මේ. අපි ඉතින් ඒ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුත් යවලා අපේ ම සල්ලිවලින් සැප විඳින හැටි බලාගෙන අපි බඩගින්නෙ ඉන්නවා.

 

මීට දුව සඳා

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්