සතුරාගැන තක්සේරුවක් තිබෙනවා… අපි ගැන අධිතක්සේරුවක අපිට නැහැ… – NPP

සතුරාගැන තක්සේරුවක් තිබෙනවා… අපි ගැන අධිතක්සේරුවක අපිට නැහැ… – NPP

ජාතික ජන බලවේගය පවත්වන මහජන රැලි මාලාවක මංගල රැලිය ඊයේ (26) තංගල්ලේදී පැවැත්වීය. එම ජනතා ව්‍යාපාරයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික විධායක සභිකයින් රැසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර අති විශාල ජන සහභාගිත්වයක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එම රැලියේදී එහි නායකයින් දැක්වූ අදහස් පහතින් පල වේ.

අපි ගොඩනඟන්නේ එකිනෙකා සමග ආදරයෙන් බැඳුණු සමාජයක් – ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය

“රට පවතින අර්බුදවලින් ගොඩගැනීම සඳහා කැපකිරීම් කරන සාමූහිකත්වයෙන් යුතු දේශපාලන දර්ශනයකට අනුව දේශපාලන භාවිතාවක් පෙන්නුම් කර තිබෙන මනුෂ්‍යත්වයෙන් සහ ආදරයෙන් පිරුණු ශක්තිමත් බලවේගය ජාතික ජන බලවේගය පමණයි. මේ වටා එකතුවී තිබෙන ජන බලයෙන් පමණයි අපේ රට තීරණාත්මක විදිහට වෙනස් කළ හැක්කේ. ඒ වටා එකතුවීම අපි සියලු දෙනාගේ භාග්‍යයක්. අවුරුදු ගණනාවක් තිස්සේ අපි සූදානම් වුණු ඒ වෙනස කළ හැකි බව අපිට පේන්න තිබෙනවා. ඒ වගේම ඒ බව හොඳටම අපිට දැනෙනවා. සහෝදර, සහොදරයින්ගේ ජීවිතවලිනුත් වන්දිගෙවා දශක ගණනාවක් ගොඩනැගූ ව්‍යාපාරයක් මේක. ඒ වගේම දශක ගණනාවක් දේශපාලන භූමිකාවේ අරගල කරලා ඉතිහාසයත් එක්ක ආපු ගමනක් මේක. අපි ඔක්කොම මෙතනට එකතු වෙලා තිබෙන්නේ ඓතිහාසික උරුමයක් එක්ක අනාගත පරපුරක් ගැන විශාල බලාපොරොත්තු එක්ක අපි මෙතනට පැමිණ සිටින්නේ.

මේ මොහොතේ එළඹ තිබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් රට ගොඩනඟන්න එකතු වෙන්න පුළුවන් කියන එක අපිට පැහැදිළියි. ඒ වගේම වැඩිදුරක් නැති, කාල්ටන් නිවාසයේ ඉන්න අයටත් ඒ බව පැහැදිලි ඇති. රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය අපේ කුස්සියටම ඇවිල්ලා අපිට හොඳටම තේරෙනවා. නමුත් මේ ආර්ථික අර්බුදය පිටුපස්සේ විශාල දේශපාලන අර්බුදයක් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. දේශපාලන අර්බුදය විසඳන්නේ නැතිව ආර්ථික අර්බුදය විසඳන්න බැහැ. මේ රට මේ තත්වයට පත් කළ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන භාවිතාව වෙනස් කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනෑ. අපි යෝජනා කරන වෙනස් දේශපාලන සංස්කෘතිය මොකක්ද කියලා කෙටියෙන් පැහැදිළි කරන්නම්.

දේශපාලන පර්වර්තනය සිදුකිරීමට අවශ්‍ය වටිනාකම් රාශියක් සමගයි අපි මෙතනට පැමිණිලා තිබෙන්නේ. උදාහරණයක් හැටියට අපිට පසුගිය දශක කිහිපයේදීම හිතන්න පුරුදු කරලා තිබෙන්නේ මිනිසා ආත්මාර්ථකාමී පුද්ගලයෙක් හැටියටයි. තරගකාරිත්වය හරහා විතරයි මිනිස් සමාජය ඉස්සරහට යන්නේ කියලා. නමුත් අපි යෝජනා කරන්නේ සාමූහිකත්වයෙන් පුද්ගල නිදහස රැකගෙන ඉදිරියට යාම ගැනයි. නමුත් ඒ වෙනුවෙන් අපිට එකතු වෙන්න දේශපාලන සංස්කෘතියේ සහ පවතින ආර්ථිකය තුළ ඉඩ දීලා නැහැ. සාමූහිකත්වය කියන්නේ පුද්ගල නිදහස අහිමි කිරීම නොවෙයි. එකිනෙකා ගැන හිතමින් සාමූහිකව යන ගමනක් ගැනයි. අනික් දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර අතරින් අපි ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ ඒ නිසයි. අනිකා දෙස අවිශ්වාසයෙන් බලන්නයි පුරුදු කරලා තිබෙන්නේ. අපිව බෙදන්න හැමදෙයක්ම යොදාගෙන තිබෙනවා. නමුත් අපි, අපි තුළ තිබෙන විවිධත්වය භාරගනිමින් ඉදිරියට යන්නේ කොහොමද කියලා ඔප්පුකරමින් ඉන්නවා.

වෙනත් දේශපාලන ව්‍යාපාර සහ සංස්කෘතිය තුළින් නිතරම එළියට එන්නේ වචනවලින්, හැසිරීමෙන්, ක්‍රෝධය සහ තරහා එළියට පැමිණීමයි. නමුත් ඒ වෙනුවට අපි යෝජනා කරන්නේ එකිනෙකාට ආදරය කරමින් හොඳ දේවල් අගය කරමින් එකිනෙකා රැකබලා ගනිමින් පෙරට යන සමාජයක්. මේ ගුණාංග අප තුළ තාමත් තිබෙනවා. ඒ ගුණාංග මතුකර ගන්න පුළුවන්. ඒ වගේම මෙපමණ කාලයක් අපිට සංවර්ධනය කියලා යෝජනා කළේ පරිසරය විනාශ කරමින් යන ගමනක්. අපි යෝජනා කරන්නේ පරිසරයත් එක්ක බද්ධවීමෙන් අපේ ජීවිතයේ කොටසක් බවට පත්කර ගත් සංවර්ධන යෝජනා ක්‍රමයක්. මේ වන විටත් අපේ පරිසර සම්පත් බේරා ගන්න ඌව පළාතේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා විශාල අරගලයක් කරමින් ඉන්නවා. සියල්ල විකුණන මානසිකත්වය තිබෙන පාලකයන්ගෙන් මේ තත්වයෙන් මුදවා ගන්න ඕනෑ. සෑම මනුස්සයෙක් ළඟම තිබෙන වටිනාකම් එළියට අරගෙන පෝෂණය කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්න ඕනෑ. මනුෂ්‍යයා කියන්නේ පිරිහුණු පුද්ගලයෙක් නොවෙයි. හොඳ දේ එළියට ගන්න අවස්ථාවක් අපිට අවශ්‍යයි. එවැනි පරිවර්ථනයක් කිරීමට අපි සියලු දෙනාම එකට එක්වී කොටස් කාරයන් බවට පත්වෙමු.”

රාජපක්ෂලාට අභියෝග කරනවා පුළුවන්නම් ඡන්දයක් තියන්න කියලා – ජාතික ජන බලවේගයේ විධායක සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත

“මේ වෙලාවේ ලෝකය පුරාම ජනතාව බලා ඉන්නේ යුක්රේනය සහ රුසියාව දිහා. අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කවද්ද කියලා. මේ ආණ්ඩුව ගෙදර යවන සටන අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ බව ජාතික ජන බලවේගයේ අපි අභිමානයෙන් කියන්න කැමතියි. මේ ජනාධිපතිවරයා බලයට පත්වුණේ 2019 දී. මේ ආණ්ඩුව බලයට පත්වුණෙත් 2020 අගෝස්තු මාසයේදී. මේ ආණ්ඩුව ඉක්මනින්ම ජනතාවට එපා වුණු නිසා ගෙදර යවන අරගලය අපි 2021 අගෝස්තු පළවැනිදා ආරම්භ කළා. ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ ආණ්ඩුව පෙරළලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනගන්න සූදානම් කියලා අපි රටට ප්‍රකාශයක් කළා.

ඊට පස්සේ කට්ටිය එක එක කතා කියන්න පටන් ගත්තා. ඒ කතාවලට අභියෝග කරමින් අපේ මිත්‍රයින්ටත් සතුරන්ටත් දෙගොල්ලන්ටම දැනගන්න 2021 දෙසැම්බර් 20 වැනිදා කොළඹදී සමුළුවක් තියලා ජාතික ජන බලවේගයේ රට ගොඩනඟන වැඩපිළිවෙළත්, 73දෙනෙකුගේ නායක මණ්ඩලයත් රටට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඇහුව්වා දිස්ත්‍රික්කවල නායකයන් කෝ කියලා. අපි ජනවාරි මාසයේ 5වැනිදා මහනුවර දිස්ත්‍රික් සමුළුවක් තියලා 37දෙනෙකුගේ නායක මණ්ඩලයක් පතකර ගත්තා. ඉන්පස්සේ සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් නායකත්වය ජනතාවට ඉදිරිපත් කරමින් දිස්ත්‍රික් සමුළු පවත්වනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලය කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් කරන එන්පීපී සභා හදන වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් යනවා. තවත් අදියරක් හැටියට තංගල්ල නගරයේදී අද මේ ජන බල රැලිය පවත්වනවා. අපි වටා එකතුවෙන්න සූදානම් සියලුම ජනයාට දොරටු විවෘත් කරමින් මේ රැලිය පවත්වනවා. ජාතික ජන බලවේගය වටා ජනතාව පෙළ ගැසෙන ආකාරය අතුරු සිදුරු නැතිව පිරී යන මේ ජනකායෙන් පේනවා.

අපි බලයට ඇවිල්ලා ගොඩනඟන ආණ්ඩුව මොකක්ද කියලත් සමහරු අහනවා. ඒක සමාජවාදීද අහනවා. ඒ වගේම අද ලංකාවේ වැඩිපුරම මඩ ගහන්නේ අවලාද නගන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාටයි. ඒ කියන්නේ සතුරන්ට හොඳටම රිදිලා. ආණ්ඩුව ඇතුළේ විතරක් නොවෙයි එළියේ ඉන්න ද්‍රෝහීනුත් මේ වැඩේම කරනවා. ඒක හොඳයි. අපි ඒ ගැන සතුටු වෙනවා. ඔය අතර සතුරනුත් එක එක මත හදනනවා. ජාතික ජන බලවේගයට බලය අරගෙන ඩොලර් ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා අහනවා. ඒ වගේම අපිට ලැබෙන ඇමතිකම් මොනවාද කියලා අහනවා. ලාංකීය භූමියේ ඊළඟ ආණ්ඩුව කරන්නේ මොනවාද කියලා අහන්නේ ජාතික ජන බලවේගයෙන් විතරයි. අවුරුදු 73ක ප්‍රතිගාමී පාලනය අවසන් කරලා නව සමාජයක් ගොඩනඟන්න මිතුරෝ එකතු වෙනවා. සතුරෝ පහර දෙනවා.

මේ සමාජයේ ගොවි, ධීවර ඇතුළු විවිධ ස්ථරවල ජනතාව අපි වටා එකතු වී සිටියා. නමුත් මේ මොහොත වන විට මේ රටේ ඉහළම ආදායම් ලබන ස්ථරයේ පිරිස විශාල වශයෙන් අපෙන් කරුණු පැහැදිළි කර ගන්නවා. ඔවුන්ට කරුණු පැහැදිළි කරගන්න සිදුවී තිබෙනවා. රාජපක්ෂලාගේ පාලනය යටතේ අද වැඩියෙන්ම ගුටි කාලා තිබෙන්නේ ගොවිජනතාව, ධීවර ජනතාව, විතරක් නොවෙයි. මධ්‍යම පාන්තික ජනතාවත් පොල් ගහක කරටියෙන් බිමට වැටිලා වගේ ඉන්නේ. මම මේ කියන්නේ ජාවාරම්කාරයෝ ගැන නොවෙයි. මේ රටේ කර්මාන්තකරුවෝ, වෙනත් ව්‍යාපාරිකයෝ, මහා පරිමානයෙන් සිටි සියලුම දෙනාට වැදිලා තියෙන්නේ. ගොවි ජනතාව, ධීවර ජනතාව, පැදුරෙන් බිමට වැටිලා නම්, ඉහළම ජනතාව ඊට වඩා බරපතළ වැටීමකට ලක්වෙලා. දැන් ඒ අය අප වටා එකතු වෙමින් ඉන්නවා.

මේ සියලුම දෙනාගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන රටක් ගොඩනඟන වැඩපිළිවෙළ වටා ඒකරාශී වන ජනතාව කොතරම්ද කියලා පෙන්නුම් කරන ඓතිහාසික රැලියක් මේක. මුලින්ම මොන ඡන්දයක් එයිද කියලා අපි දන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණයක් ඉස්සෙල්ලාම ආවොත් කුමන්ත්‍රණ කරලා අපෙන් පැහැර ගත්ත තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවත්, තවත් ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා කියන එකත් අපට කිසිම සැකයක් නැහැ. මහ මැතිවරණයකට තව අවුරුදු 3 1/2ක් තියෙනවා. මේ විදිහට අවුරුදු තුනහමාරක් යන්න බැහැ. රාජපක්ෂලාගේ ගේ ඇතුළට ඇවිල්ලා අපි කෑගහලා කියනවා මැතිවරණයක් තියපල්ලා. යුද්ධය ඉවර වුණාට පස්සේ රාජපක්ෂලා ඈත තිබුණු ඡන්ද ළඟට ගත්තා. නමුත් දැන් රාජපක්ෂලා පවත්වන්න ඕනෑ ඡන්දත් කල්දානවා. ඒ විතරක් නොවෙයි පාර්ලිමේන්තු ඡන්දයක් ලබාගන්න ජනතාව සූදානම් නම් ඒකත් කරන්න පුළුවන්. රටේ ජනතාව හඬගාලා කියනවා නම් පාර්ලිමේන්තුවට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ජන බලයට වඩා බලයක් වෙන කොහේවත් නැහැ. දැන් පලයල්ලා කියලා තිබෙන ජන මතය ජන බලයක් බවට පත්කරලා මේ හඬ නඟන්න ඕනෑ. ජන බලය කියන්නේ සංවිධානය වුණු ජනතාවගේ ශක්තිය.

අපේ ගුරුවරයා වුණු, ලෙනින් අපට කියලා තිබෙන්නේ වැඩ කරන ජනතාවට සංවිධානය වීම හැර වෙනත් අවියක් නැත කියලයි. සතුරු බලවේග අවදිවෙලා තියෙනවා. ලෙනින් සහෝදරයා අපට කියලා තිබෙන්නේ විප්ලවය අවදි වන්නේ ප්‍රතිවිප්ලවයද අවදිකර ගනිමිනි කියලයි. අපි සමාජ පරිවර්තනය ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ප්‍රතිගාමී බලවේගත් අවදිවී තිබෙනවා. අපි අයාලේ යනවා නොවෙයි. දැනගෙන පිළිවෙළකට වැඩ කරන්නේ. තංගල්ලේ රැලිය නිකම්ම පවත්වනවා නොවෙයි. මාධ්‍ය සාකච්ඡාවක් තියලා පටන් ගත්ත වැඩ පිළිවෙළක තවත් අදියරක් තමයි මේ රැලිය.

සජිත් ප්‍රේමදාස යන්නේ කොහෙද මල්ලේ පොල්. නමුත් අපි ඉතිහාසයෙන් අත්දැකීම් අරගෙන වැඩ පිළිවෙළක් සහිතව වැඩකරගෙන යනවා. ඒ නිසා රාජපක්ෂලාගේ ගේ ඇතුළේ ඉඳලා අපි කියන්නේ යන්න සූදානම් වෙලා හිටපල්ලා. ජනතාව රවට්ටලා නැවතත් බලය ලබාගන්න උත්සාහ කරන ප්‍රතිගාමින් අපිත් එක්ක තරගයට ආවා. සජිත් ප්‍රේමදාස එහෙ මෙහෙ ගියා. රාජපක්ෂ පාලනය පලවා හැර නූතන වැඩපිළිවෙළක් සහිතව රට ගොඩනැගීමට කටයුතු කරන ලාංකීය සමාජයේ ඉදිරියෙන්ම ඉන්න බලවේගය ජාතික ජන බලවේගය විතරයි කියලා අවධාරණය කරනවා. හැමෝම එකතු වී අත්වැල් බැඳගෙන මේ පාලනය පලවා හැර ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනඟමු. ජාතික ජන බලවේගයට ජයවේවා!”

සුන්දර රටක් හදන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි – ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රී පෝල්රාජ්

“ජාතික ජන බලවේගය පවත්වන මේ මංගල රැලියේදී අපි ඔබට සහතික කරලා කියනවා මීට වඩා සුන්දරව ජීවත් විය හැකි සහනශීලී, නිදහස්, නිවහල් රටක් ගොඩනඟන බව. දැන් රටේ තත්වය මොකක්ද? අපි ගමනක් යන්න ගොඩවෙන බස් එක අතරමග නවතිනවා. දරුවා පාසලකට අරන් යන අම්මලාට ස්කූටරය තෙල් නැතිව මග නවතිනවා. සුලු ව්‍යාපාරවලට වගේම ගෘහනියන්ට ගෑස් ලැබෙන්නේ නැහැ. සියල්ල ඇණ හිටලා මඟ හිටින මොහොතක අද මේ පාලනයට එරෙහිව රොද බැඳගෙන තංගල්ල නගරයට ඇවිත් සිටිනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ඒ දරුවන්ගේ අධ්‍යාපනය, අනාගතය වෙනුවෙන් විදුලිය දෙන්න බැරි ආණ්ඩුවක් මේක. පාලකයන් සැනකෙළි පවත්වන අතර, විශ්වවිද්‍යාල පද්ධතිය වහලා තිබෙන්නේ. මේ රට මේ තැනට පත් කළ රාජපක්ෂ, සිරිසේන, වික්‍රමසිංහ, ප්‍රේමදාස, බණ්ඩාරනායක සියලු කණ්ඩායම් පරදන බව මේ රොද බඳින ජනතාව ඔප්පුකර තිබෙනවා.

අපි සියලු දෙනාගේම ජීවිත එක දවසක ගෑස් පෝලිමේ. තව දවසක ඉන්ධන පෝලිමේ. තව දවසක සීනි පෝලිමේ. හැන්දෑවට කළුවරේ. මේ ආර්ථික කඩා වැටීමක ප්‍රතිඵලයක් විතරක් නොවෙයි. දේශපාලන ප්‍රශ්නයකුත් තිබෙනවා කියලා ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා. මේ ප්‍රශ්නවලට උත්තර ආවාට ගියාට සොයන්න බැහැ. තවදුරටත් ජනතාව රවටන්න ඔය කිසිම කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අනික් පැත්තෙන් ආණ්ඩුවේ ගජ මිතුරන්ට ලබාදෙන කිසිදු සහනයක් මේ රටේ වැඩකරන ජනතාවට, මැදපෙරදිග දුක්විඳින රටේ 52%ක් වුණු කාන්තාවන්ට ලබාදී නැහැ. ඔබ මෙතනට ආවා වගේම මේ පණිවිඩය ගෙන් ගෙට ගෙනියන්න ඕනෑ. තනි පුද්ගලයෙකුට තවදුරටත් මේ තත්වය වෙනස් කරන්න බැරි බව අවධාරණය කරන්න ඕනෑ.

ඔබේ බලයත් අපේ නායකත්වයත් එකතු වුණු සාමූහිකත්වයෙන් විතරයි මේ රටට අලුත් දේශපාලන පරිවර්තනයක් තහවුරු කළ හැක්කේ. ග්‍රාමීය ජනතාවගේ සෑම කාන්තාවකටම විවසායිකාවක් විය හැකි මග පෙන්වන්නේ ජාතික ජන බලවේගය විතරයි. මේ මගින් ආර්ථිකය ගොඩනැගීමෙන් පමණයි සියලුම දරුවන්ගේ අනාගතය යහපත් කර ගත හැකිවන්නේ. ලෝකය සමග තරග කළ හැකි උසස් මානව ප්‍රජාවක් ඉන්න සතුටින් ජීවත්වන හෙටක් පිළිබඳව මග කියන්න පුළුවන් එකම කණ්ඩායම ජාතික ජන බලවේගය විතරයි. මේ යන ගමනේදී සාමූහික සංවිධානාත්මක බවින් බිමේ ජනතා අරගල සමග බද්ධ වී එකිනෙකාට සංවේදී වෙමින් ගමින් ගමට දොරින් දොරට ගෙන් ගෙට එන සටන ආරම්භ කර තිබෙනවා. ඒ වටා සියලු දෙනාට ඒකරාශී වන ලෙස ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.”

පහුගිය පාලනවලදී හොරකම් කරපු ජනතා මුදල් නැවත පවරා ගත යුතුයි – ජාතික ජන බලවේගයේ විධායක සභික – ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හර්ෂණ නානායක්කාර

“මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මුදල් බලය දේශපාලන බලය තියන අයට එක විදිහකටත් ඒ දෙකම නැති අයට තව විදිහකටත් කියලා අපි දකිනවා. ඒක හරිම වේදනාකාරියි. එක රටක් එක නීතියක් කිව්වාට, ඒ ගෝඨාභය රාජපක්ෂගේ පොරොන්දුවක් විතරයි. අපිට කියනවා නීතියේ ආධිපත්‍යය රකින්න කියලා. කෙහෙලිය රඹුක්වැල්ලගේ ලයිට් බිල එක්කෝටි විසි ලක්ෂයයි. හැබැයි ලයිට් කපන්නේ නැහැ. අපිට එහෙම ඉන්න පුළුවන්ද. පෙට්‍රල් පෝලිම්වල ඉන්න අතරේ ලයිට් කපනවා. අලි වැටකට ලයිට් නැතිවුණහම ගමට අලි පනිනවා. ගෝඨාභය රාජපක්ෂ දැනගන්න ඕනෑ පුරවැසියෝ කියන්නේ කලාමැදිරියෝ නොවෙයි කියලා. අපිට අඛණ්ඩ විදුලි බලයක් ඕනෑ. නිෂ්පාදන කර්මාන්තවලට, ගොවිබිම් වල් අලින්ගෙන් ආරක්ෂා කර ගන්න විදුලි බලය ඕනෑ. නමුත් මිරිහානට ඒක කපන්නෙත් නැහැ. මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කපන්නේ නැහැ. එක රටක් එක නීතියක් තිබෙන්නේ කොහේද? අන්න ඒකයි අපි කියන්නේ මේ තත්වය වෙනස් කරන්න ඕනෑ කියලා.

69 ලක්ෂයේ ජනතාව අපි ආදරයෙන් පිළිගන්නවා. ඒ අයට අපි පැහැදිලි කරලා දෙන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා. මේ රටේ ජීවන වියදම වැඩිවීමට හේතුව භාණ්ඩාගාරයේ සල්ලි සොරකම් කිරීමයි. අනික් පැත්තෙන් අසීමිත බදු ගැසීමයි. මේ පවුල දන්නේ හොරකම් කරන්න විතරයි. සී.එස්.එන්. නඩුවේ යෝෂිත රාජපක්ෂට එරෙහිව තිබෙන මිලියන 50ක මූල්‍ය අපරාධ සම්බන්ධ නඩුව ඉල්ලා අස්කර ගන්න කියලා ජනාධිපති කොමිසමකින් කියනවා. මේවා කාගේ සල්ලිද? බැසිල් රාජපක්ෂගේ මල්වානේ ගෙදර නඩුවෙන් කියන්නේ ලක්ෂ 800කට වැඩි සල්ලි සොයා ගත්තේ කොහෙන්ද කියලයි. වීරකැටිය ස්මාරක හැදුවෙත් මහජනතාවගේ මුදල්වලින්. ඒක ඒගොල්ලන්ගේ සල්ලිවලින් කරනවාට කමක් නැහැ. නමුත් මේවාට යොදවන්නේ මහජනතාවගේ සල්ලි. ඒ නඩුව තවමත් අහනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ දැන් කියනවා ගොවියාගේ ආදායම පොහොර ඇතිව හෝ නැතිව දෙගුණ කරනවා කියලා. එහෙම නම් අපිටත් කියන්න පුළුවන් රෙදි ඇතිව හෝ නැතිව ඇඳුම් මහනවා කියලා. ඒ වගේම වතුර ඇතිව හෝ නැතිව අපි නානවා කියලා. මේ විදිහට තවදුරටත් මේ රටට යන්න බැහැ. අල්ලස් කොමිසම විසින් හැම නඩුවක්ම ඉල්ලා අස්කර ගන්නවා. හැම හොර තක්කඩියාම රටේ ජනතාවගෙන් සොරකම් කළ සල්ලි අපේ පාලනයක් යටතේ නැවත භාණ්ඩාගාරයට අයකර ගන්නවා. ඒ දේ කරන්න බැරි නම් ජාතික ජන බලවේගයෙන් වැඩක් නැහැ.”

මේක ඇකයේ ඉන්න දරුවත් පීඩාවට පත්කරපු ආණ්ඩුවක්.. මේ ආණ්ඩුව පළවාහරින්න අපි ජන ගඟක් නිර්මාණය කරනවා.. – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

“මේ ආණ්ඩුව අපේ රටේ සමස්ත ගොවි ජනතාවම මහත් විපතකට ඇද දමලා තිබෙනවා. තමන්ගේ කුඹුර දිහා බලාගෙන හූල්ලන ගොවියෙක් අද ඉන්නේ. ඒ වගේම කිරිපිටි හිඟයත් මිල ඉහළයාමත් නිසා ඇකයේ ඉන්න දරුවාට කිරිටිකක් දෙන්න බැරිව මව්පියන් පීඩාවට පත්වෙලා. කිරි ආනයනය කරන්න ඩොලර් නැතිවෙන කොට පෝලිමේ ඉන්න වෙනවා. සමහර අම්මලා දරුවා දිහා බලාගෙන අඬනවා. මේක ඇකයේ ඉන්න දරුවත් පීඩාවට පත්කරන ලද ආණ්ඩුවක්.

අපේ රටේ අපනයනකරුවන් අර්බුදයට ගිහිල්ලා. වරායේ කන්ටේනර් විශාල ප්‍රමාණයක් හිරවලා. ව්‍යපාරිකයින් අසරණ වෙලා. ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවර ප්‍රජාවගේ බහුදින යාත්‍රාවට තෙල් ටික ගහගන්න බැරිවෙලා. මෙවැනි ව්‍යසනයකට කිසිදාක පත්වී නැති බව ඔවුන් අපට කියනවා. රටේ විශ්වවිද්‍යාල තවමත් ආරම්භ කරලා නැහැ. ආණ්ඩුවේ සංගීත සංදර්ශන පවත්වන්න අවසර දුන්නා. හැබැයි විශ්වවිද්‍යාල දේශන කරන්නේ අවුරුදු දෙකක් පුරා ඔන්ලයින් ක්‍රමයට. එක දවසක්වත් විශ්වවිද්‍යාලයේ නොගිහින් දෙවන වසරේ අධ්‍යාපනය ලැබීමට සලස්වා මානසිකව කඩා වට්ටවා තිබෙනවා. ඒ පැත්තෙන් ගත්තාමත් මේක ජනපීඩක ආණ්ඩුවක්. ගෝඨාභය, මහින්ද, බැසිල්, නාමල්, චමල්, ශෂේන්ද්‍ර, නිපුන කියන පිරිස හදාගත් සත් කට්ටුවේ ආණ්ඩුව මේ රටේ ජනතාව හැම අතින්ම පීඩාවට පත්කර තිබෙනවා.

රටේ ඇමතිවරු ජනතාවට ප්‍රශ්නය ඉදිරිපත් කරන මට්ටමට වැටිලා. මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික අර්බුදය ගැන රටට කියන්න ඕනෑ. හැබැයි මුදල් ඇමති බැසිල් කසාය බීපු ගොළුවා වගේ ඉන්නවා. මෙවැනි අර්බුදයක් වෙලාවකදී රටක පාලකයන් අර්බුදයේ ස්වභාවය පැහැදිලි කර විසඳුම් සැලැස්ම ඉදිරිපත් කරන්න ඕනෑ. හැබැයි මුදල් ඇමති පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. අපේ රටේ මුදල් ඇමතිවට වඩා පිටකොටුවේ තොග වෙළඳ මුදලාලි හොඳයි. ජනාධිපති ඊටත් එහා. මතුවී තිබෙන ප්‍රශ්න ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. හිරිවැටිලා ඉන්නේ. ජනාධිපතිවරයා ඉන්න මිරිහානේ ලයිට් කපන්නේ නැහැ. බලශක්ති ඇමතිගේ නිල නිවාසයට මහජන මුදලින් ජෙනරේටර් ගේනවා. වාහන දුවන්න තෙල් නැති අතරේ අගමැති ජෙට් අරගෙන තිරුපති යනවා. මේක රට හෝ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීතාවයක් නැති ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුව පලවා හැරිය යුතුමයි.

මේ රටේ ජනතාව පෙළ ගැසෙන්නේ ආණ්ඩුවක් පලවා හරින පළවෙනි අවස්ථාවට නොවෙයි. මීට කලිනුත් ආණ්ඩු පලවා හැර තිබෙනවා. ඒ හැමදාමත් තිබුණු ආණ්ඩුවට වඩා අසාර්ථක එකක් පත්කරගෙන තිබෙන්නේ. රනිල්-මෛත්‍රී ආණ්ඩුව පලවා හැරිය යුතුව තිබුණා. ඒ වෙනුවෙන් රටේ ජනතාව තීන්දු කළ එක හරි. නමුත් වැරදුණේ මොකක්ද? ඊළඟට තෝරා ගත් කෙනා. ඒ අතර මෛත්‍රීපාල වේදිකාවට ඇවිත් ඒ කාලේ නම් හොඳයි කියනවා. පරණ රංචුවම දෙපැත්තට චෝදනා කර ගන්නවා. මීරිගම සිට රඹුක්කන දක්වා හයිවේ එක හැදීමෙන් හොරකම් කළා කියලා මේ පැත්තෙන් ජොන්ස්ටන්ට කියනවා. ඒකට උත්තර හැටියට කිරිඇල්ල කඩවත ඉඳලා මීරිගමට ගහපු හැටි කියනවා. චන්න ජයසුමන බෙහෙත් ගේන කොට හොරකම් කළා කියලා එක ඇමතිවරයෙක් කියනවා. ආණ්ඩුව නාස්තිකාර වියදම් කරන බව විපක්ෂය පැත්තෙන් කියනවා. එතකොට සජිත් නිවාස අධිකාරයෙන් කෝටි සියයක් ගහපු හැටි කියනවා. ඒ නිසා එකම ගමන් මග ගිය මේ කණ්ඩායම් දෙකම ප්‍රතික්ෂේප කරන නව ව්‍යාපාරයක් අතට බලය ලබාදිය යුතුයි.

මෙච්චර කල් මහජනයාගේ ධනය ප්‍රකෝටි ගණන් හොරකම් කළ ආණ්ඩු හැදුණේ. අපි හදන්න ඕනෑ මහජන මුදල් ශතයක් සොරකම් නොකරන ශතයක්වත් නාස්ති නොකරන පාලනයක්. ඒක හදන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. මම පාර්ලිමේන්තුවේදී කියන කරන ප්‍රකාශ ගැන සමහර අය කියනවා නඩුවලින් බේරෙන්න පාර්ලිමේන්තුවේදී විතරක් කියන බව. ඒ නිසා මහින්ද මහත්තයාගේ ගෙදර ළඟටම ඇවිල්ලා මේ කතාව කියන්නේ. 2015දී මැතිවරණ ව්‍යාපාරයට චීන සමාගම්වලින් ඩොලර් මිලියන හය හමාරක් දුන්නා කියලා. පාර්ලිමේන්තුවේදී මේ ගැන කීවාම ඔලුව වනනවා. ජොන්ස්ටන් දවසක් නැගිටලා මට දූෂිතයන්ට දඬුවම්දීමේ බලයක් තිබුණු බව කීවා. මම නැගිටලා කීවේ මට එවැනි බලයක් තිබුණා නම්, ඉස්සරහා පේලියේ කවුරුත් නැහැ කියලා. ඒ වගේ කියන්න පුළුවන්නේ ජාතික ජන බලවේගයේ අයට විතරයි. ඒ වගේ දූෂණයෙන් තොර ආණ්ඩුවක් මේ රටට ඕනෑ. තංගල්ල නගරයට රැස්වෙලා ඉන්න දස දහස් සංඛ්‍යාත අම්මලා තාත්තලාට අපි ආරාධනා කරන්නේ වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ගොඩනැගීමට තව තවත් කැපවෙන්න කියලයි.

හම්බන්තොට සමහර පාසල්වලට වැසිකිළියක්, පිට්ටනියක්, පුස්තකාලයක් නැහැ. විදුලිය, වතුර නැහැ කියලා වාර්තාවක් තිබුණා. මහජනයාගේ ධනය යොදවන්න ඕනෑ මේ වගේ පහසුකම් සලසන්නයි. ජනතාවගේ ජීවිත උසස් කරවන්න යොදවන්න තිබුණු ධනය මජර පවුල් කිහිපයක් හොරකම් කළා. මේවා නැවත අත්පත් කර ගත යුතුයි. ඒ නිසා මහින්ද මහත්තයා, ගෝඨාභය, වගේම සජිතුත් කළබල වෙන්න ඕනෑ. හැබැයි අපි පියවරෙන් පියවර ක්‍රමානුකූලව මේ රට අලුත් පරිවර්තනයකට ගෙන යන්න ජනතා බලය පෙළගස්වමින් තිබෙනවා. අද තංගල්ල නගරයේ රැව්දෙන්නේ ඒ මහා ජනතා බලයයි.

අද අපේ රටේ දේශපාලනය සම්බන්ධ නඩු පිළිබඳව විශාල සැකයක් ඇතිවී තිබෙනවා. බැසිල්ගේ මල්වානේ නඩුව ගම්පහ අධිකරණයේ තිබෙනවා. ඒ ගැන සැකයක් තිබෙනවා. අද අපේ රටට ඕනෑ තමන්ගේ තනතුරේ ගරුත්වයත් එක්ක නීතිය ඉටුකරන්න පුළුවන් රටක්. අපේ පොලිසියේ මහත්වරුන්ට තමන්ගේ හැකියාව, දැනුම අනුව උසස්වීම් ලබාදෙන ක්‍රියාමාර්ගයක් තහවුරු කරන්න ඕනෑ. මේ ප්‍රදේශය භාර එච්.කියු.අයි මහත්තයා අපේ ස්පීකර් කිහිපයක වයර් කපන්න නියෝග කරලා. හැබැයි අපේ පාලනයක් යටතේ තමන්ගේත් අනුන්ගේත් ගරුත්වය තනතුරේ ගරුත්වය ආරක්ෂා කරන්න පුළුවන් සාධාරණව නීතිය ක්‍රියාත්මක වන රටක් ගොඩනගනවා. මේ ගොල්ලන්ට ඒක කරන්න බැහැ. ගම්පහ අපේ රැස්වීමකට පසුගියදා බිත්තර ගැහුවා. ගෝඨාභය පවු. ඒකට ආපු දෙන්නෙක් අල්ලාගෙන පොලිසියට භාර දුන්නා. පොලිසියෙන් ඒ අය ඉස්පිරිතාලයට දාලා ගෙදර යැව්වා. ඒ පොලීසියේම අය අපිට කතා කරලා ඒ බව දැනුම් දුන්නා. නීතියේ සාධාරණය ඉටුකරන්න බලයක් පොලිස් දෙපාර්තමේන්තුවට අද නැහැ. චමුදිත සමරවික්‍රමගේ ගෙදරට අසූචි ප්‍රහාර, ගල් ප්‍රහාර එල්ල කර, බිය වැද්දීමකට ලක්කලා. කැමරා 21කින් ගත්ත වීඩියෝ දර්ශන ලබාදුන් බව චමුදිත කියනවා. වාහන අංකයත් තියෙනවා. ඒත් ගහපු කෙනෙක් නැහැ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව අලගිය මුලගිය තැන් ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් හිටපු පොලිස් අධිකාරී ශානී අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගත් තොරතුරු ඒවා. අපේ රටේ විශාල අපරාධකරුවන් පිරිසක් දේශපාලන ශක්තිය මත සැඟවී සිටිනවා. අපි ඉස්සරහා තිබෙන මේ රට වෙනස් කර නීතියේ විධානය ආධිපත්‍යය සහිත රටක් ගොඩනැගීමටයි අපි ආණ්ඩුවක් හදන්න ඕනෑ.

මේ අපරාධ පසුබිම යටතේ අපේ රටේ ආර්ථිකයේ මුදුනටම හෙන ගහලා තිබෙන්නේ. ජනවාරි මාසයේ ආහාර පානවල උද්ධමනය ජනවාරි මාසයේදී 20% ඉක්මවලා කියලා ආණ්ඩුවේ වාර්තාවලම කියනවා. අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට පවතින සම්පත් යොදවා ගන්න ඕනෑ. ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගන්න අපි ක්‍රියාකරන්න ඕනෑ. යුද්දයෙන් පස්සේ අපේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කළ හැකි වටපිටාවක් නිර්මාණය වුණා. අද අපේ රටේ ආර්ථික ප්‍රශ්නයට හේතුව කොරෝනා බව කියනවා. හැබැයි බංගලිදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, මැලේසියාවට කොරෝනා බලපෑවේ නැද්ද? ඒ රටවල්වල විදෙස් සංචිත වැඩිවුණා. හේතුව කොරෝනාද? කොරෝනා වෛරසය අවුරුදු දෙකයි. හැබැයි නිල් පාට, කොල පාට අවුරුදු 73ක වෛරසයක් තිබෙනවා. අපේ රට හපයක් බවට පත් කළේ මේ වෛරස් දෙක විසින්. රට මේ තත්වය පත්කර හම්බ කළ ධනය ඒ ගොල්ලෝ ළඟ තිබෙනවා. කළු ධනය එක්රැස් කරගත් ව්‍යාපාරිකයෝ, මාධ්‍ය බලය ඔවුන්ට තිබෙනවා. අපි සතුරාව අවතක්සේරු කරන්නේ නැහැ.

ඇතැම් මාධ්‍ය පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ මොනවද නොකළේ. කැළණි විහාරයෙන් නයි මතුකරපු මාධ්‍ය ආයතන තිබුණා. ජනතාව ඕනෑම මොහොතක රැවටිය හැකි බවට මාන්නයක් ඒගොල්ලන්ට තිබෙනවා. සතුරා බලවත් බව අපි දන්නවා. ධනය, බලය, මාධ්‍යය සහ ජනතාව රවටන්න පුළුවන් කියන මතය ඒගොල්ලන්ට තිබෙනවා. ඒ සියල්ලට වඩා ප්‍රබල මහජන බලය අපි පෙළ ගස්වමින් ඉන්නවා. අපි ගැන අපි අධිතක්සේරුවක නැහැ. ඒ වගේම සතුරා ගැන අවතක්සේරුවකත් නැහැ. ජේ.වී.පී. එක අධිතක්සේරුවක ඉන්න බව සමහර අය කියන්න හදනවා. අපි ගැන වගේම සතුරා ගැනත් අපිට නිවැරදි තක්සේරුවක් තිබෙනවා. අපි මේ වැඩේට අත ගැහුවේ ආගමික නායකයන්, වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥවරුන් ඇතුළුව ලංකාවේ මෙතෙක් ගොඩනැගී තිබෙන විශාලතම ජනතා ව්‍යාපාරය ගොඩනඟලයි. ඕනෑම සතුරෙක් එක්ක සටන් කරන්න පුළුවන් මහා ජන බලවේගයක් ගොඩනගන්න ඕනෑ. අපි විසිරිලා, හුදකලා වෙලා හරියන්නේ නැහැ. මේ රට වෙනස් කිරීම සඳහා ඕනෑකම තිබෙන අදූෂිත කණ්ඩායම් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ සියලු දෙනාට අපි ආරාධනා කරනවා, ගෞරවය සහ අභිමානය තිබෙන මවුබිමක් හදන්න එකතු වෙනන් කියලා. ඒ වෙනුවෙන් එකතු වෙන්න කැමති අදූෂිත සියලු දෙනාට තම තමන් ඉන්න පක්ෂවලට ආයුබෝවන් කියලා එන්න ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනවා. අපි යන මාවත තේරුම් ගෙන දස දහස් සංඛ්‍යාත ජනතාවක් තංගල්ල නගරයට එකතුවී තිබෙනවා. ඔබලා අපිට ශක්තිය ධෛර්යය ගෙන ඒම ගැන ස්තුතියි.

ඒ වගේම අපි ගමේත්, නගරයේ, ජාතික වශයෙනුත් සංවිධානය වෙමු. එකතු වෙමු. මේ පාලනය පලවා හරින්න මහ පාරේ මහා ජන ගඟක් නිර්මාණය කරන්න අපි සූදානම්. ඒ වගේම සටකපට ලෙස ඡන්දය කල්දාන්න නොදී, ආණ්ඩු මාරුවකට ඉඩකඩ ලබා ගැනීම දක්වා ඒ බලවේග අපි සංවිධානය කරනවා. අපි මේ තීන්දුව ගත්තේ බකල් ගගහා යන්න නොවෙයි. ආපසු හැරෙන්න නොවෙයි. සහතික වශයෙන්ම බලය අත්පත් කර ගැනීම සඳහා මහා ජනතා ව්‍යාපාරයක් ගොඩනඟනවා. පන්සලේ, පල්ලියේ, කෝවිලේ ආගමික නායකයන් හමුවි සාකච්ඡා කරන්න. ව්‍යාපාරික මහත්තුරුන් එක්ක සාකච්ඡා කරන්න.

හම්බන්තොට කියන්නේ රාජපක්ෂලාගේ නිජබිම නම්, මේක අපෙත් නිජබිම බව ඔවුන් මතක තබා ගන්න ඕනෑ. ඔවුන් පටන් ගත්තේ මෙතැනින් නම්, රටේ අනික් පුරවැසියන්ට වඩා ඔවුන් පරාජය කරවීමේ වගකීම තිබෙන්නෙත් මේ පුරවැසියන්ට බව අපි විශ්වාස කරනවා. හම්බන්තොට වරිග සභාවක් වෙනුවට මේ රටේ පුරවැසියන්ගේ අයිතින් සුරක්ෂිත කරන වගකීම් අපි අරගෙන තිබෙනවා. අපි පටන් ගත්තේ තංගල්ල නගරයේ සුබදායී රැළියකින්. ඉදිරියේදී නගර ගණනාවක රැළි පවත්වනවා. නව පන්නයේ ආණ්ඩුවක් පිහිටුවීමේ සිතියම අපි සැලසුම් සහගතව දියත් කර තිබෙනවා. මේ ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරන්න, මේ රටේ ජනතාවට සතුටින් සැනසුමෙන් ජීවත්වීමේ රටක් ගොඩනැගීමට මහා ජන ගඟක් සේ එකතුවන සේ හැමදෙනාටම ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්