සජිත්, රනිල් ගෙනා කොතලාවල පනත සම්මත කරන බව ජනපති කියයි

සජිත්, රනිල් ගෙනා කොතලාවල පනත සම්මත කරන බව ජනපති කියයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ පනත ඉදිරියේදී ගෙන එන බවත් රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහිවීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බවත් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ බෞද්ධ උපදේශක සභාවේ භික්ෂූන් වහන්සේලා හමුවේ සඳහන් කර තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහි විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගන්නැයි මෙහිදී බෞද්ධ උපදේශක සභාවේ භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

කෙසේ වෙතත් මෙම පනත ගෙනඑනු ලැබුවේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති වත්මන් පොහොට්ටු පක්ෂ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එක්ව පිහිටුවා තිබූ ආණ්ඩුව සමයේ වන අතර එම පනතට විරුද්ධව මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංස, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු එම අවස්ථාවේ විපක්ෂයේ සිටි පිරිස දැඩිව කටයුතු කළහ. කෙසේ වෙතත් මේ වනවිට එම පනත කිසිදු වගන්තියක වෙනසකින් තොරව යළිත් ගෝටාබය, මහින්ද ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එහි ඡන්ද විමසීම ඉදිරියේදී පැවැත්වීමටද නියමිතය.

එවැනි පසුබිමක මේ වනවිට රටේ ගුරුවරු, විදුහල්පතිවරු, වෛද්‍යවරු ඇතුළු රාජ්‍ය සේවකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ කොතලාවල පනට විරුද්ධව විරෝධතා ආරම්භ කර තිබේ. එමෙන්ම මෙයට විරෝධය දැක්වීමක් ලෙස ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින්ද ඉවත් වී සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්