සමෘද්ධි හා නිවාස ඇමති සජිත් ප්රේමදාස මහතා මේ වනවිට ‘සහන දිරිය‘ යනුවෙන් නිවාස ණය යෝජනා ක්රමයක් බව සඳහන් කර හම්බන්තොට දිස්ත්රික්කය තුළ ඡන්ද ප්රචාරක කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම ණය යෝජනා ක්රමය යටතේ රුපියල් ලක්ෂයක ණය මුදලක් ලංකා බැංකුව මගින් අදාළ නිසි ඇප නොමැතිව ලබා දීමට ක්රියා කිරීම නිසා බැංකුවද බරපතල අවධානමකට ලක්ව ඇතැයි එම බැංකුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ණය ලාභීන් තම චෙක්පත් මාරු කර ගැනීම සඳහා අදාල බැංකු ශාඛාවට විශාල පිරිසක් ඒකරාශී වීමෙන් බැංකු ශාඛාවල මූල්ය අර්බුදයක්ද මතුවූ බව හෙළිවෙයි. පෙබරවාරි 24 වෙනි දින සිට මාර්තු 09 වැනි දින දක්වා 814 දෙනෙකු හට රුපියල් ලක්ෂය බැගින් ණය ලබා දී ඇත. ලුණුගම්වෙහෙර, අම්බලන්තොට, සූරියවැව සහ හම්බන්තොට යන නගරවල පිහිටි ලංකා බැංකු ශාඛාවලින් රුපියල් ලක්ෂ 814ක් මේ වනවිට සහන දිරිය ණය ලබා දී ඇත.
මෙම ණය යෝජනා ක්රමය රට පුරා ක්රියාත්මක කිරීමට යෝජිත අතර මුල් වටයේදී එක් ප්රාදේශීය ලේකම් කොට්ඨාශයකින් උපරිම පවුල් 25කට ණය ලබා දීමට සැලසුම් කර තිබියදී හම්බන්තොට දිස්ත්රික්කයේ පමණක් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ හතරක අති විශාල පිරිසකට මෙම ණය ලබා දීමෙන් එය තනිකරම ඡන්ද ව්යාපෘතියක් වශයෙන් ක්රියාත්මක කරමින් සිටින බව තහවුරු වේ.









