සංගක්කාර අද ක්‍රිකට් පොත අලුතින් ලියයි

ලෝක කුසලාන ඉතිහාසයේ පිට පිට තරඟ තුනකදී ශතක ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත් වීමට අද (08) ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත් විය. අද ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේදී සංගක්කාර පන්දු 107කදී ලකුණු 104ක් ලබා ගැනීමත් සමඟ මෙම වාර්තාව පිහිටුවීමට සමත් විය.

බංග්ලාදේශ පිලට එරෙහිව ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පසුගිය මස 26 වැනිදා නොදැවී ලකුණු 105ක්ද එංගලන්ත පිලට එරෙහිව මේ මස 1 වැනිදා නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදීත් නොදැවී ලකුණු 117ක්ද ලෙස මීට පෙර පැවැති තරඟ දෙකකදී ලබා ගැනීමට සමත් විය. අද ශතකයත් සමග සිය 24වන එක්දින ශතකය ලබා ගැනීමට සංගක්කාර සමත් විය. ඊට අමතරව සංගක්කාර අද එක්දින ලකුණු 14,000 සීමාව පසු කිරීමට සමත් වූ අතර එක්දින ලකුණු 14,000 සීමාව පසු කළ ලොව දෙවන ක්‍රීඩකයා බවට සංගක්කාර පත් විය.

අද තරගයේ ලකුණු 376ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33.5කදී කඩුළු 4කට ලකුණු 281ක් ලබා ප්‍රබල තත්වයක පසු වූ අවස්ථාවේදී පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්  දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් විය. ඒ සමග ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ලකුණු 29ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් පස්දෙනා ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමග ලකුණු 64ක ජයක් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 104ක්ද ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 62ක්ද දිනේෂ් චන්දිමාල් නොදෙවී ලකුණු 52ක්ද නායක මැතිව්ස් ලකුණු 35ක්ද ලබා ගැනීමට සමත් විය. ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවක ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලබා ගැනීමට අද දිනේෂ් චන්දිමාල් සමත් විය. ඒ පන්දු 24කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමගිනි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්