ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි අද (26) ඕස්ට්රේලියාවේ පැවති තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමෙන් සුපිරි දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 332ක් ලබා ගැනීමට සමත් විය. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 161ක් ලබා ගැනීමට සමත් විය. ඩිල්ෂාන් අද ලබ ගත්තේ ඔහුගේ 21වැනි එක්දින ශතකයයි. පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සමගින් ඩිල්ෂාන්ගේ ඉනිම වර්ණවත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් කුමර් සංගක්කාර ලකුණ 105ක් ලබා ගැනීමට සමත් විය. සංගක්කාර අද වාර්තා කළේ සිය 22වැනි එක්දින ශතකයයි. පන්දු 76කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. සංගක්කාර අද සහභාගී වූයේ 400වැනි එක්දින තරගයටයි.
පළමු කඩුල්ල ලෙස තිරිමාන්න ලකුණු 52කට දෙවී ගිය අතර ලකුණු 122දී ආරම්භ වූ දෙවන කඩුල්ලේ ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු සබඳතාවය ලකුණු 210ක් විය. එසේම ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්රී ලංකා ක්රීඩකයකු තරගයකදී රැස්කළ ඉහළම ලකුණු ලබා ගැනීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඩිල්ෂාන් අද සමත් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 1996 කෙන්යාවට එරෙහිව අරවින්ද සිල්වා ලබා ගෙන තිබූ ලකුණු 145 වාර්තාවයි. අද තරගයේදී හතරේ පහරවල් 38ක් වාර්තා වීමද විශේෂත්වයකි.











