මේ වන විට විදේශ සංචිත හිඟවීම හේතුවෙන් ශ්රී ලංකාව 1948 නිදහසින් පසුව මුහුණ දෙන දරුණුතම ආර්ථික අවපාතයකට ඇද වැටී ඇතැයි යුරෝපයේ මුල්ය සමාගම් ආශ්රිත මාධ්ය වාර්තා කර සිටිති. කොරෝනා වසංගතය හේතුවෙන් ශ්රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 3.6%ක් 2020 දී පමණක් අහිමි වී ඇති බව පැවසේ. විශේෂයෙන්ම මැද පෙරදිග සේවය කරන විශාල පිරිසකට රැකියා අහිමි වීමත්, සංචාරක කර්මාන්තය, ඇඟුලුම් කරමාන්තය අවට රැකියා අහිමි වීමත් හේතුවෙන් ශ්රී ලංකාවේ ආර්ථිකය බරපතළ අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව මෙම විදේශ වාර්තා සඳහන් කරනු ලබයි.
මෙම තත්වයට මුහුණ දීම සඳහා ශ්රී ලංකා රජය අත්යවශ්ය නොවන භාණ්ඩ වන මෝටර් රථ හා සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කරනු ලැබු අතර මේ සතියේ සිට පරිගණක, ජංගම දුරකථන, විද්යුත් නිෂ්පාදන වැනි විශාල භාණ්ඩ ප්රමාණයක් ආනයනය කිරීම නතර කිරීමට තීරණය කර ඇත.
මේ අතර ජාත්යන්තර මුල්ය ආයතන කීපයක් ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය සැලකිල්ලට ගනිමින් ශ්රී ලංකාව ලැයිස්තු ගත කර ඇත්තේ ණය වාරික ගෙවීම් ගෙවාගත නොහැකි අසමත් රාජ්යයක් ලෙසයි. පසුගිය ඉරිදා ශ්රී ලංකා මහා බැංකුව විදේශ සංචිත හිඟය පාලනය කිරීම වස් විදේශ සංචිත රටින් පිටකිරීම තහනම් කිරීමටත්, දේශීය සමාගම් හා පුද්ගලයින්ට විදේශ රටවල ආයෝජනය කිරීම මාස හයකට තහනම් කිරීමටත් තීරණය කර ඇති බව විදේශ මාධ්ය වලට ප්රකාශ කර ඇත. ජුනි මාසය අවසාන වනවිට වාණිජ බැංකු විදේශයෙන් භාණ්ඩ ආනයනකරුවන්ට යම් කෝටා ක්රමයක් පනවා ඇති අතර එහි දී මහ බැංකුව ඩොලර් විකිණීම දැඩි පාලනයකට ලක් කර ඇත.
“මේ වනවිට අර්බුදයට පත්ව ඇති රටේ මුල්ය කළමනාකරණය පාලනය කිරීමට හා ආර්ථික ස්ථාවරභාවය සමබර කිරීම සඳහා මෙම පියවර ගත් බවත් එමගින් ණය වාරික වන ඩොලර් බිලියන 3.6ක් මාස 6ක් තුලදී ගෙවීම සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන බව ශ්රී ලංකාවේ මහ බැංකුවේ ප්රකාශකයා වැඩිදුරටත් පවසා ඇති බව එම මාධ්ය වාර්තා කර සිටි.
විදේශ මුල්ය වාර්තා වලට අනුව ශ්රී ලංකාවේ විදේශ සංචිත අඩකින් පහල වැටී මේ වනවිට ඩොලර් බිලියන 4ක් ලෙස වාර්තා වේ. ඒ අතර රුපියල ඉතිහාසයේ ඉතාමත් පහලම අගයකට කඩා වැටී ඇත. මෙම තත්වය ඇතිවීමට හේතුව ලෙස බටහිර මුල්ය වාර්තා සඳහන් කරනුයේ ආර්ථික වශයෙන් කිසිදු ලාභයක් නොමැති මේවනවිට සුදු අලි බවට පත්ව ඇති ව්යපෘති වලට චීනයෙන් හා වෙනත් රට වලින් අධික පොලියට ණය ලබාගෙන වියදම් කිරීම බවයි. මෙම තත්වය මගහරවා ගැනීමට පසුගිය කාලයේදී රටවල් රාශියකින් ණය ලබාගැනීමට ශ්රී ලංකාවට සිදුවූ අතර ලබන අගෝස්තු මාසයේදී තවත් ඩොලර් මිලියන 800ක් අන්තර් ජාතික මුල්ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
මෙම ණය මුදල ලබා ගැනීම සඳහා ශ්රී ලංකා රජයට ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම්, යහපාලනය සම්බන්ධව පසුගිය කාලයේදී ගනු ලැබූ ඒකාධිපති දේශපාලන සංශෝධන ආපසු හැරවීමට සිදුවනු ඇති බව එම මාධ්ය තවදුරටත් වාර්තා කර සිටි. අවසාන විග්රහයේදී දිනෙන් දින උග්ර වෙමින් පවතින විදේශ හා රාජ්ය ණය අර්බුදයත්, ඒ සමගම රටපුරා ජනතා සටන් උග්ර වීම තුලත් පවතින රජයට රටේ සම්පත් තවදුරටත් වෙන්දේසි කරන, ලිබරල් වෙළඳපල ශක්තිමත් කරන ක්රමවේදයකට අවතීර්ණ වීමට සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි මේ පිළිබඳව අවධානයෙන් සිටින මධ්යස්ථ විචාරකයෝ පවසා සිටිති.










