ශ්රී ලංකාවේ දශක ගණනාවක සිට රෝහල්ගතවීම් සඳහා ප්රධානතම හේතුව වී ඇත්තේ තුවාල සහ අනතුරුවලට ලක් වීම යැයි සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කළ අවස්ථාවේ එම උත්සව සභාව අමතමිණි.
මන්නාරම ජනතාවගේ සෞඛ්ය පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඉන්දීය රජයේ ප්රදානයකට අනුව රුපියල් මිලියන 600ක වියදමින් ඉදි කිරීමට නියමිත මෙම හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය සියලු නවීන පහසුකම්වලින් සමන්විතය. 2028 වසරේ පළමු කාර්තුවේ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ,
“ශ්රී ලංකාවේ දශක ගණනාවක සිට රෝහල්ගතවීම් සඳහා ප්රධානතම හේතුව වී ඇත්තේ තුවාල සහ අනතුරුවලට ලක් වීමයි. මන්නාරම යම්තාක් දුරකට භූගෝලීය වශයෙන් හුදකලා වූ ප්රදේශයක් බැවින් මන්නාරම දිස්ත්රික්කයට කඩිනමින් ප්රවේශවිය හැකි නොමිලේ ලබා දෙන ගුණාත්මක සෞඛ්ය සේවාවක් ඉතාමත් වැදගත් වෙනවා.
මෙම රෝහල සඳහා ආධුනික වෛද්ය නිලධාරීන් අනුයුක්ත කිරීම ආරම්භ කළේ මේ වසරේදීයි. මන්නාරම දිස්ත්රික් රෝහල සඳහා CT ස්කෑනර් යන්ත්රයක් මිලදී ගැනීමේ කටයුතුද දැනට සිදු වෙමින් පවතිනවා. මෙම වසර අගදී හෝ ලබන වසර මුලදී මෙම රෝහලට වඩා හොද විකිරණවේද පහසුකම් ලැබෙනු ඇතියි.
මගේ වසර 36ක රාජ්ය සේවය තුළ රාකාරී කිරීමේදී කිසිදු මූල්ය ගැටලුවකට මුහුණ නොදුන් එකම කාලය පසුගිය වසර බව කිව යුතුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් රජයේ විචක්ෂණශීලි සාර්ව ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටේ සෞඛ්ය සේවාව දියුණු කිරීම සඳහා අවශ්ය මූල්ය අවකාශය නිර්මාණය වී තිබෙනවා.”
මන්නාරම දිස්ත්රික් රදගුරු ඥානප්රගාසම් ඇන්තනිපිල්ලෙයි රදගුරුතුමාද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා සහ මන්නාරම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුද, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ ආරක්ෂක අංශ ප්රධානීන්ද, සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන්ද, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් සායි මුරලි එස්. මහතා ඇතුළු එහි නිලධාරීන් සහ රෝහල් අධක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















