පසුගිය මාර්තු 21 වැනිදා කොලොම්බියානු දේශසීමාවේදී වෙනිසුවේලානු හමුදාවට එරෙහිව සිදුවූ ත්රස්ත්ර ප්රහාරයකින් හමුදා සෙබළු 8 දෙනෙකු මියගොස් ඇතැයි බටහිර මාධ්ය වාර්තා කර සිටි.
වෙනිසුවේලානු ආරක්ෂක ඇමතිවරයා විසින් ඊයේ (06) නිකුත් කල වාර්තාවකින් පැවසනුයේ මෙම ප්රහාරය මදුරෝගේ සමාජවාදී රජය පෙරලා දැමීම ඉලක්ක කරමින් කොලොම්බියානු රජය විසින් තම හමුදාව යොදාගනිමින් සිදු කරන ලද නිහීන ක්රියාමාර්ගයක් බවයි. කොලොම්බියාවේ ඇමරිකන් ගැති රජය මදුරෝ එරට ජනාධිපති ලෙස පිළිනොගන්නා අතර විපක්ෂයේ අපේක්ෂක Juan Guaidoට සෘජුවම සහය ලබා දේ. මෙම හේතුව නිසා දෙරටේ කිලෝමීටර් 2200 දේශසීමා අතර නිතර නිතර ගැටුම් ඇවිලී යමින් පවතී.
“අදාල ප්රහාරයේදී අපගේ දේශප්රේමී හමුදා භටයන් 8 දෙනෙකු මව්බිම හා බොලිවරියානු විප්ලවය වෙනුවෙන් දිවි පිදුවා. එසේම 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හමුදාව විසින් ත්රස්ත්රවාදීන් 9 දෙනෙකු මරා දැමුවා, 30 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබෙනවා, 3000ක ජනතාවක් ගැටුම් හේතුවෙන් අවතැන් වී තිබෙනවා ” එරට ආරක්ෂක ඇමති Vladimir Padrino වැඩිදුරටත් මාධ්ය අමතා ප්රකාශ කර සිටියේය.
ඒ අතර වෙනිසුවේලානු ජනාධිපති Nicolas Maduro විසින් දෙරට අතර දේශසීමා අවට මෙම ත්රස්ත්රවාදී සංවිධාන විසින් අටවා තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වහා මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් Antonio Guterres හට ලිපියක් යවමින් ඒ සඳහා අවශ්ය ජාත්යන්තර සහය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් කොලොම්බියානු රජය මදුරෝගේ චෝදනාව ප්රතික්ෂේප කරනු ලබයි. එරට ක්රියාත්මක වූ FARC ගරිල්ලන් 13000ක් විසින් විසින් කියුබාවේ හා වෙනිසුවෙලියාවේ මැදිහත් වීමෙන් 2016 දී අත්සන් කරන ලද සාම ගිවිසුමෙන් පසුව ආයුධ බිම තැබුවත් එම ගිවිසුම පිළිනොගත් ඔවුන්ගේ කණ්ඩායම් කීපයක් මේ වනවිට මත්ද්රව්ය ජාවාරම් කරුවන් හා එක්වෙමින් මෙම ප්රහාර එල්ල කරන බව පවසයි. ඔවුන්ට මත්ද්රව්ය ජාවාරම් කරුවන්ගේ ආධාර ලැබෙන බවද පවසයි.
නමුත් වෙනිසුවේලානු ජනාධිපති Nicolas Maduro පවසනුයේ කොලොම්බියානු ජනාධිපති Iván Duque මෙම ප්රහාර වල පිටුපස සිටින බවත්ය. මෙම ත්රස්තයින් FARC ගරිල්ලන් ලෙස වෙස්වලාගෙන සිටියද ඔවුන්ට මුදල් හා පුහුණුව ලබා දෙනුයේ කොලොම්බියානු යැංකි ගැති රජයෙන් යයි ඔහු පවසයි. මෙම මිනීමරුවන් දේශසීමා අවට බිම්බෝම්බ අතුරා හමුදා භටයින්ට පහරදෙන බවට තම බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇති බවත් මෙම මිනීමරුවන් මර්දනය කිරීමට පසුබට නොවන බවත් ඔහු වැඩි දුරටත් රූපවාහිනියෙන් ජාතිය අමතා පවසා සිටියේය.










