නාවල පිහිටි විවෘත විශ්වවිද්යාලයට උපකුලපතිවරයකු පත් කර ගැනීම සඳහා සුදුසු මහාචාර්යවරුන් තිදෙනකුගේ නම් විශ්වවිද්යාල සභාව මගින් විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවට යොමු කර තිබුණද එම නම් තුනම ජනාධිපතිවරයා විසින් ප්රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වනවිට විවෘත විශ්වවිද්යාලයට උපකුලපතිවරයකු පත් කර ගැනීම අර්බුදයක් බවට පත්ව තිබේ.
මෙලෙස විශ්වවිද්යාල පනත උල්ලංඝනය කිරීමට එරෙහිව විශ්වවිද්යාල ආචාර්ය මණ්ඩලය ඊයේ (22) නාවල විවත විශ්වවිද්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක්ද පැවැත්විණි.
නාවල විවෘත විශ්වවිද්යාලයේ උපකුලපතිධුරය අද (23) සිට පුරප්පාඩුව පවතින අතර හිටපු උපකුලපති මහාචාර්ය අන්බාහන් අරියදුරෙයි මහතාගේ නිලකාලය අද දිනයේ අවසන් වේ.
එම විශ්වවිද්යාලයට නව උපකුලපතිවරයකු තෝරාගැනීමේ ක්රියාවලිය මිට මාස හයකට පමණ ඉහතදී ආරම්භ වී තිබිණි.
විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව යැවූ මහචාර්යවරුන් තිදෙනාගේම නම් ජනාධිපතිවරයා ප්රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා නැවත අයදුම්පත් කැඳවන්නැයි ජනාධිපතිකාර්යලය දැනුම්දී තිබූ බව විශ්වවිද්යාල ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය ඇන්ටන් පියරත්න පවසයි.
කිසිදු හේතුවක් නොදන්වා නම් තුනම ප්රතික්ෂේප කිරීම දැඩි ලෙස හෙළා දකින බවද එය සම්පූර්ණයෙන්ම දේශපාලන මැදිහත්වීමකැයිද ආචාර්ය සංගමයේ සභාපතිවරයා කියයි.













