වියට්නාම් පාඩම යලි ඉගෙනගනිමින් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් පසු බසී!

වියට්නාම් පාඩම යලි ඉගෙනගනිමින් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් පසු බසී!

“ඇෆ්ගන් ජනතාව යනු ධෛර්යයමත්, ස්වාධීන හා සටන්කාමි ජනතාවක් වේ. ඔවුන්ගේ ජිවන රටාව රැඳී පැවතුනයේ සත්ව පාලනය හා කෘෂිකර්මය මත වේ. වෙළඳාම ඔවුන් පිළිකුල් කරති. තවත් ජාතියකට යටත්වීම තරයේ ප්‍රතික්‍ෂේප කරන ඇෆ්ගන් ජනතාව යුද්ධයෙන් ප්‍රීතිමත් වේ. යුද්ධය ඔවුන් ජිවත්වන ඒකකාරී ජීවන රටාව කඩිසර ජීවිතයකට ඇද දමයි. නීති රීති වලට අවනත වීමට ඇති නොකැමැත්ත හා ඔවුන්ගේ ස්වාධීන පුද්ගලිකත්වය මත ගොඩනැගුණු ජීවිත රටාවට ඇති අසීමිත ආදරය හේතුවෙන් ඔවුන්ට ශ්‍රේෂ්ඨ ජාතියක් වීමට ඇති හැකියාව බාධකයක් වී ඇත”. ඇෆ්ගන් ජනතාව පිළිබඳව 1851 දී මෙම සටහන තැබුවේ ෆෙඩ්රික් එංගල්ස් විසිනි.

රුසියාව 1989 දී ඉගෙනගත් ආකාරයටම 2001දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කල ඇමරිකාව වසර 22කට පසුව පරාජය පිළිගනිමින් මෙම වසරේ සැප්තැම්බර් 11 වැනිදා වනවිට සියළුම හමුදා භටයින් එරටින් ඉවත් කරගැනීමට තීරණය කර ඇත. ඇෆ්ගනිස්ථානයේ අනාගතය කුමන මගක් ගනීවිද යන්න පිළිබඳ මේ වන විට ලොව පුරා විවිධ අදහස් පළවෙමින් තිබේ.

1979 දී ඇෆ්ගනිස්ථානයට ඇතුළු වන සොවියට් හමුදාවට එරෙහිව ඇමරිකාව විසින් තලේබාන් ඉස්ලාමීය ගරිල්ලා භටයින්ට පක්ස්ථානයේ පුහුණු කර වසර 9ක් පුරා 1989 දක්වා දීර්ඝ සිවිල් යුද්ධයකට ඇද දමන ලදී. අවසානයේ ඇෆ්ගනිස්ථාන් පාලනය තලේබාන්වරුන් අත්පත් කරගන්නා ලදී. නමුත් 2001 සැප්තැම්බර් 11 වැනිදා සිදුවූ ඇමරිකානු විරෝධී ප්‍රහාරයට නායකත්වය දීම නිසා යයි කියා ඇමරිකන් හමුදාව 2001 දී ඇෆ්ගනිස්ථානයට ඇතුළුවන ලදී. සෞදි අරාබිය, කටාර්, ඉරාන හා පකිස්ථාන් සහය ලබන තලිබාන් ගරිල්ලන් වසර කීපයක් ඇතුලතදී නේටෝ හමුදා සාමාජිකයින් කාබුල් නගරයට සීමා කරලීමට සමත්වූ අතර යුධ සිරකරුවන් 1000ක් යටත් කර ගැනීමටද සමත්විණි.

එරට යපස්, කිරිගරුඬ, තඹ, දුර්ලභ ඛනිජ වැලි, රත්තරං ඇති ප්‍රදේශ වලින් හා විදේශ රටවලින් ලැබෙන මුදල් ඇතුළුව ඩොලර් බිලියන 5.5ක වාර්ෂික අදායමක් උපයා ගැනීමට තලිබාන් ගරිල්ලන් ඒ අතර සමත් වී ඇත. මෙම තත්වය තුලදී ඇෆ්ගන් ආණ්ඩුවේ සාමාජිකයින්ට, හමුදාවට හා පරිපාලන නිලධාරීන්ට ගෙවීමට ඩොලර් බිලියන 5ක් වසරකට වැය කිරීමට සිදුවීම තුලත් හා ඇමරිකන් හමුදා භටයින් මියයාම මත ඇමරිකන් සමාජයෙන් පැමිණි පිඩනයද හේතුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත්කර ගැනීම අත්‍යවශ්‍ය කර්තව්‍යයක් බවට ඇමරිකාව විසින් තේරුම් ගන්නා ලදී.

ඒ අනුව වසර 22ක දික් ගැහුණු යුද්ධය නිමා කරලීමට අවසානයේ ඇමරිකානු ට්‍රම්ප් පාලනය 2020 පෙබරවාරි 29 වැනිදා කටාර් රාජ්‍යයේ මැදිහත්වීම මත තලිබාන් ගරිල්ලන් ඇමරිකාව සමග සටන් විරාම ගිවිසුමකට අත්සන් කරනුයේ ඔවුන්ගේ මුලික ඉල්ලීම වන 13600ක ඇමරිකානු හමුදාව 2021 ජුලි මස වන විට ඉවත් කර ගන්නා බවට ඇමරිකාව දුන් සහතිකය මතය. ප්‍රති උපකාරකයක් ලෙස මින් පසුව තලිබාන් පාලනය ඇමරිකාවට එරෙහිව අල්කයිඩා සාමාජිකයින් පුහුණු කිරීම එරට තහනම් කරනු ඇත. එහිදී තලිබාන් පාලනයට ආගමික ඉස්ලාම් අන්තවාදයෙන් පිඩා විඳින රුසියාව හා චීනයේ ඍජු බලපෑමට ලක්වීමට සිදුවනු ඇත.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය හා තලිබාන් පාලනය අතර සම්බන්ධයක් ඇත්දැයි ඔප්පු කිරීමට ඇමරිකාව අදටත් සමත් වී නැත. ඇමරිකාව හා නේටෝව ඇෆ්ගනිස්ථානයට ඇතුළු වීමෙන් සිදු වූ එකම ප්‍රථිපලය වුයේ තලිබාන් පාලනය විසින් තහනම් කරන ලද පොපි මල් වගාව හා හෙරොයින් නිෂ්පාදනය 90%ක් දක්වා ඉහල යාම පමණි. අදටත් ලෝක මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන මධ්‍යස්ථානය වනුයේ ඇෆ්ගනිස්ථානයයි. 2017දී එ.ජා සංවිධානයේ මත්ද්‍රව්‍ය විරෝධී කාර්යාංශයේ වාර්තාවකට අනුව හෙරොයින් ටොන් 9000ක් එම වසරේදී නිපදවා තිබිණි. ඇෆ්ගන් රුකඩ රජයේ ප්‍රධාන අදායම් මාර්ගය වුයේ හෙරොයින් අදායම වන අතර එය අභ්‍යන්තර දල ජාතික නිෂ්පාදනයෙන් 20-30% PIB ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන බව වාර්තා වේ.

වසර 22ක ඇමරිකන් ආක්‍රමණික කාලය තුලදී ඇෆ්ගන් ජනතාවගේ ජිවන තත්වය උසස් වීමක් කිසිදු ආකාරයකින් සිදු වුයේ නැත. සාක්ෂරතාවය 20%ක් පමණ වන අතර අවම ආයුෂ කාලය වයස 44ක් ලෙස වාර්තා වේ. ඒ අනුව ත්‍රස්ත්‍රවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් තහවුරු කරලීමට කියා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කල ඇමරිකන් හා නේටෝ පාලනය වසර 22ක තම පාලන කාලය තුල එරට ජනතාවගේ අවම ජීවන මට්ටම හෝ සහතික කරලීමට අසමත් විය.

කෙසේ වෙතත් ඇමරිකාවට ඇෆ්ගනිස්ථානය අහිමිවීම තුල සමස්ථ මධ්‍යම ආසියාව තුල බලය තහවුරු කරගැනීමට චීනය, ඉරානය, රුසියාව හා පාකිස්ථානය සමත් වේ. මේ වනවිට සෝවියට් හමුදාවට එරෙහිව ඇමරිකාව සමග සිටි පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් රජය සිටිනුයේ චීනයේ සේද මාවත සමග වන අතර පසුගිය මැයි 25 වැනිදා එරට විදේශ ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබුවේ කිසිදු ආකාරයකින් ඇමරිකන් හමුදාවට තම රට බිහිවන තලිබාන් පාලනයට එරෙහිව යොදා ගැනීමට ඉඩ නොදෙන බවයි. ඒ අතර 2020 ජුනි 26 වැනිදා පලවූ newyork times සඟරාව වාර්තා කරනු ලැබුවේ රුසියාව ඇමරිකන් හමුදා සාමාජිකයින් මරා දැමීම සඳහා මුදල් ගෙවා ඇති බවයි. චෝදනාව රුසියාව විසින් ප්‍රතික්‍ෂේප කලද මෙම වසරේ මාර්තු 18 වනදා චීනය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රුසියාව පැවසුවේ සටන් විරාම ගිවිසුමට අනුව ඇමරිකන් හමුදාව කලාපයෙන් ඉවත් කර ගැනීම ඉක්මන් කරන ලෙසයි.

මෙම සියළු සිදුවීම් සලකා බැලීමේදී ඇමරිකාවට තම හමුදා ඉවත්කර ගැනීම හැරෙනු කොට වෙනත් විකල්පයක් ඉතිරි කර නොමැත. ඒ අතර තලිබාන් ගරිල්ලන් කාබුල් නගරය වටලමින් සිටි. තවත් මාස කීපයක් යාමට පෙර ඔවුන් කාබුල් නගරය අල්ලා ගැනීමත් සමග නැවතත් ඉස්ලාමිය රාජ්‍යයක් බිහිවීම අනිවාර්‍යය ප්‍රථිපලයක් වනු ඇත. ඔවුන් පවසනුයේ තමන් අන්තවාදී නොවන මධ්‍යස්ථ රාජ්‍ය ක්‍රමයක් බිහිකරන බවයි.

වසර 50ක වැනි කාලයක් පුරා යුද්ධයෙන් පිඩා විඳින හා විවිධ සුළු ජාතින් රාශියක් නියෝජනය කරනු ලබන ඇෆ්ගන් ජනතාව නව තලිබාන් පාලන තන්ත්‍රය තුලින් අපේක්ෂා කරනුයේ සාමය පමණක් වන අතර පුද්ගලික දේපල ක්‍රමය පිළිගන්නා ආර්ථික වැඩපිළිවෙලක් මත ගොඩනැගෙන ඉස්ලාමිය රජයක් ඔවුන් පිඩා විඳින සමාජ, ආර්ථික ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙනු ඇතැයි විශ්වාස කල නොහැකි බව මේ පිළිබඳව උනන්දුවන නිරීක්ෂකයින්ගේ මතයයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්