මෙම මැයි දිනය ජාතික ජන බලවේගයෙන් සමරන්නේ විදේශගත ශ්රී ලාංකිකයන් සහ ලෝකවාදී සමස්ත ජනතාව සමග ඒකාත්මික වීමෙන් බවත් මේ මාතෘභූමිය පොහොසත් රටක්, ලස්සන රටක් කිරීමේ තරඟයක් පමණක් තමන් පක්ෂයට ඇති බවත් එහි ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කළේය.
ඔහු මේ බව අවධාරණය කළේ මේ වනවිට මාතර වෙරළ උද්යානයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි දිනය රැලිය අමතමිනි.
එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ සජිත් ප්රේමදාස හෝ ජනතාව නරකාදියට හෙළූ කිසිවෙකු සමග තම පක්ෂයේ අනුර දිසානායකට තරඟයක් නොපවතින බවත් තමන්ට ඇති එකම තරඟය මව්බිම පොහොසත් කරන්නේ කෙසේද යන්න සහ එය ලස්සන කරන්නේ කෙසේද යන්න පමණක් බවත් අවධාරණය කෙරින.
එහිදී ඔහු කළ සම්පූර්ණ කතාව,
“ජාතික ජන බලවේගයේ අපි විපක්ෂයේ සිට සමරන අවසාන මැයි රැලිය යාපනය, අනුරාධපුරය, කොළඹ සහ මාතර දී ඉතාමත් අභිමානයෙන් සමරනු ලබනවා. ලබන වසරේ මැයි දිනය සමරන්නේ ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් තුළයි. එක්දහස් අටසිය අසූහයේදී ඇමෙරිකාවේ හේමාකට් නගරයේ දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා සුදු කොඩි අරන් අරගල කළ නිරායුධ ජනතාවට එරෙහිව මර්දනයක් දියත් කළ දිනය මුල් කරගෙන ලෝකවාසී ජනතාව මැයි දිනය සමරනවා. පාලකයෝත් මේ දිනය සමරමින්, විවිධ නාඩගම් නටනවා. රනිල් වික්රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ නඩය, සමගි ජන බලවේගයේ ඉතිරි වී සිටින කණ්ඩායම සහ පොහොට්ටුවේ පිරිස සමඟ මැයි දිනය සමරන ආකාරය ඉලක්කම්වලින් ප්රකාශ කළත්, ජාතික ජන බලවේගයේ ශක්තිය පෙන්වමින්, මාලිමාවේ අපට තරගයක් තිබෙන්නේ අපිත් එක්කම බව තහවුරු කර තිබෙනවා. රනිල් එක්ක, සජිත් එක්ක හෝ වෙන කිසිවකු එක්ක අපට තරගයක් නැහැ. තරගය පවතින්නේ බලය ලබාගෙන මේ මාතෘභූමිය පොහොසත් කිරීමේ සහ ලස්සන කිරීමේ තරගයක් විතරයි අපට තිබෙන්නේ.
යාපනයට, අනුරාධපුරයට, කොළඹට සහ මාතරට එක් වී සිටින ලක්ෂ සංඛ්යාත ජනතාව එකහඬින් කියා සිටින්නේ මේ දූෂිත, දුෂ්ට පාලනය අවසන් කළ යුතු බවයි. රනිල් වික්රමසිංහට කෘතවේදීත්වය පළ කිරීමේ මැයි රැලියක් එක්සත් ජාතික පක්ෂය පවත්වනවාලු. 1980 ජූලි වැඩ වර්ජනයේ දී වර්ජකයන් ලක්ෂයක් පමණ පාරට දාන්න රනිල් වික්රමසිංහ අත ඉස්සූ නිසාද ඔහුට කෘතවේදීත්වය පළ කරන්නේ? ඒ වගේම මහ බැංකුව කොල්ලකෑම කළ නිසාද? ඊයේ රාත්රියේ තෙල් මිල අඩු කළා කියලා අද කයිවාරු ගහන්න ක්රියා කරන නිසාද? ඒ වාගේම වතු ජනතාවගේ පඩි වැඩි කරන බවට ගැසට් ගැසූ නිසාද? රනිල් වික්රමසිංහ මේ මොන මොනවා කළත්, පලවාහැරිය යුතු පාලකයකු බවට පත්වී අවසන්. ජනතාව රවටමින්, හාල් බෙදුවට, ඉඩම් ඔප්පු බෙදුවට නැවත නොරැවටෙන බව ජනතාව සපථ කර අවසන්. ජාතික ජන බලවේගය වටා ජනතාව ඒකරාශී වී සිටීමෙන් රනිල් වික්රමසිංහලා භය වී සිටින තරමයි, ඔය පෙන්වන්නේ. අද එක් කළා වාගේම තව තවත් ලක්ෂ සංඛ්යාත ජනතාවක් ඒකරාශී කරමින්, මේ රටේ ජනතාවාදී පාලනයක් ගොඩනඟන්න එකා මෙන් රොදබඳිමු.
සමහර අය කියනවා, තව සති දෙක තුනකින් සජිත්ගේ ආතල් බලන්න පුළුවන් කියලා. නමුත්, මේක ආතල් ගන්න අවස්ථාවක් නෙවෙයි. වසර හැත්තෑහයක් පුරා රට බංකොළොත් කළ සියලුම පාලකයන් එළැඹෙන ජනාධිපතිවරණයේදී පන්නා දැමීමේ අවස්ථාව අපට ඇවිත් තිබෙනවා. රටත්, ජනතාවත් පුනරුද යුගයකට ගෙන යන අවධියක නායකත්වය දීමේ ජන බලය විදේශගත ශ්රී ලාංකිකයන් සහ ලෝකවාසී ජනතාවත් සමඟ ඒකාත්මික වීමෙන් අපිත් සමරනවා. මැයි දිනය සැමරීමේ සදාචාරාත්මක අයිතියක් තිබෙන වැඩ කරන ජනතාව, ගොවි, ධීවර ඇතුළු සියලුම ජනතාවට අර්ථවත් දැක්මක් සහිතව සැමරීමේ අවස්ථාව ලබාදී තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. රට දිනවන විසඳුම ගෙන එන මැයි රැලියෙන් නව ශක්තියක්, ධෛර්යක් ලබාගෙන රට ගොඩනැඟීමට පෙළගැසෙමු.”










