මෙරට විදුලිබල ක්ෂේත්රය තුළ සිදුකළ යුතු ප්රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අධ්යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධ සිය අදහස් හා යෝජනා දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ප්රතිපත්ති අනු කමිටුවේ සභාපතා නාමල් රාජපක්ෂ පවසයි.
එම අනු කමිටුව නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර ඇත්තේ කෙටි, මධ්ය, හා දිගු කාලීන ජාතික ප්රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්රමුඛතා හඳුනාගැනීම සඳහාය.
මෙරට විදුලිබල ක්ෂේත්රය තුළ සිදුකළ යුතු ප්රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට කැබිනට් අනුමතිය හිමිව ඇති අතර එය ජාතික ප්රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර විසින් ඊයේ (29) නාමල් රාජපක්ෂ වෙත භාර දී ඇත.
දෛනිකව ඉහළ යන විදුලිබල අවශ්යතාව සැපිරීමට නොහැකිවීම හේතුවෙන් ඇතිවන විදුලිය ඇනහිටීම් සහ විදුලි ගාස්තු අධික ලෙස ඉහළයාම ඇතුළු මෙරට විදුලිබල ක්ෂේත්රය මුහුණදී තිබෙන ගැටලු ගණනාවකට අදාළ විසඳුම් ඇතුළත් නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් වන බව සඳහන් වේ.










