අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට සහ පාර්ලිමේන්තු මන්ත්රී සාරථි දුෂ්මන්තට එරෙහි වාරණය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන්විතාන අද (15) නියෝග කර තිබේ.
ඒ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් සහ පාර්ලිමේන්තු මන්ත්රී සාරථි දුෂ්මන්තට එම පක්ෂයේ වැඩබලන ලේකම් ධුරයේ කටයුතු කිරීම වලක්වාලමිණි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හා රාජ්ය ඇමති ලසන්ත අලගියවන්න, එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා එහි ජ්යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර යන තිදෙනා විසින් මීට පෙර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට සහ පාර්ලිමේන්තු මන්ත්රී සාරථි දුෂ්මන්තට උක්ත ධුරවල කටයුතු කිරීම වලක්වාලමින් අධිකරණයෙන් වාරණයක් ලබාගත් අතර අද නියෝගය අනුව එම වාරණය ලබන 27 දින දක්වා යළි දීර්ඝ කර ඇත.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්රපාල,වැඩ බලන සභාපති,වරායා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාලද සිල්වා,අධිකරණ ඇමති ජනාධිපතිනීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ,පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතා නම් කර ඇත.
වාරණ නියෝගවලට එරෙහි විත්තියේ විරෝධතා ලබන 27 ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන්විතාන දැනුම් දී තිබේ.










