වකුගඩු නිසි පරිදි ක්රියාත්මක නොවන රෝගීන් සඳහා ලබා දෙන අත්යවශ්ය හෝමෝන් එන්නතක් වන “එරිත්රොප්රෝටීන්” එන්නත මෙම දිනවල රජයේ රෝහල්වල හා වෛද්ය සැපයුම් අංශයේ හිඟව පවතින බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
නිසි පරිදි වකුගඩු ක්රියාත්මක නොවන රෝගීන්ගේ එම වකුගඩු ක්රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරලීම සඳහා ලබා දෙන මෙම අත්යවශ්ය එන්නත මාස එකහමාරක පමණ කාලයක සිට රෝහල්වල හිඟව පවතින අතර මේ හේතුවෙන් වකුගඩු රෝගීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවද වාර්තා වේ.
“එරිත්රොප්රොටීන්” එන්නත් පෞද්ගලික ඔසුසල්වලින් මිල දී ගන්නේ නම් එක් එන්නතක් වෙනුවෙන් රුපියල් 3,500 ක් හෝ එයට අධික මුදලක් වැය කිරීමට සිදු වීම නිසා බොහෝ රෝගීන්ට එය පිටතින් මිලදී ගැනීමද අසීරු වී තිබේ.
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්යවරුන් හා ඖෂධවේදීන් මෙම එන්නත් ඇණවුම් කර කලක් ගතවී ඇතත් මේ වන විටද ඒවා වෛද්ය සැපයුම් අංශය වෙත ලැබී නැතැයි එම අංශ ආරංචිමාර්ග හෙළිදරව් කරයි.









