රු. 42,000 Paclitaxelඑන්නත 26,000 දක්වාත් රු. 6,348 Nimodipine එන්නත රු. 4,100 දක්වාත් අඩු‍වෙනවා – සෞඛ්‍ය ඇමති

රු. 42,000 Paclitaxelඑන්නත 26,000 දක්වාත් රු. 6,348 Nimodipine එන්නත රු. 4,100 දක්වාත් අඩු‍වෙනවා – සෞඛ්‍ය ඇමති

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 350ක මිල පාලනය සිදුවන බවත් පාලන මිල නියම කිරීමත් සමග පිළිකා රෝගීන්ට මෙතෙක් රුපියල් 42,000කට පමණ අලෙවි කළ (Paclitaxel (Protein bound particles) for injectable suspension 100mg/vial) එන්නතක් රුපියල් 26,332ක් දක්වාද මෙතෙක් රුපියල් 6,348කට පමණ අලෙවි කළ අංශභාග රෝගීන්ට ලබාදෙන (Nimodipine IV Infusion BP 10mg/50ml) එන්නතක් රුපියල් 4,100 දක්වා අඩුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ තුළින් මෙරට වෙළෙදපොලේ ඖෂධ රැසක මිල ගණන් දැවැන්ත ලෙස අඩුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) නව ඖෂධ වර්ග කිහිපයක් වෙළෙඳපොලට හදුන්වාදීම වෙනුවෙන් එහි මුල්ම ඖෂධ කාණ්ඩ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදුන්වාදීම වෙනුවෙන් පසුගියදා පැවැති අවස්ථාවට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතුව පවතින බවත්, එම නියාමන කටයුතු 2016 වසරේ සිට සිදු කළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 වර්ෂයේ දෙසැම්බර් මස සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වී තිබූ බව මෙහිදී පැවැසීය.

මෙම වාතාවරණය තුළ පෞද්ගලික ඖෂධ අලෙවිකරුවන් සහ පෞද්ගලික රෝහල් පවා කිසිදු පාලනයකින් තොරව වැඩි මිල ගණන් අය කරන බව නිරීක්ෂණය වූ බවද ඔහු පවසයි.

මෙම තත්වයට විසදුමක් ලෙස ඖෂධ මිල නියාමනය සම්බන්ධව පසුගියදා නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බවත් එම ගැසට් පත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් ත් සෞඛ්‍ය ඇමති මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව එම ගැසට් පත්‍රය ප්‍රකාරව මෙරට ඖෂධ වර්ග 350ක් සඳහා නව මිල මෙම සතිය ආරම්භයේ දී ප්‍රකාශයට පත් කළ බවත් මෙහිදී අවධාරණය කළ ඇමති මේ පිළිබඳ ඖෂධ සැපයුම්කරුවන්, ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් මේ වනවිටත් දැනුවත් කර ඇති බවද පැවැසීය. ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග 200ක මිල පාලනය සඳහා මේ වනවිටත් කරුණු සළකා බලමින් සිටින බවද පැවැසීය.

ඖෂධ මිල ඉහළයාමත් සමග ඇතැම් රෝගීන් වෛද්‍යවරුන් නිර්දේශ කරන නිසි මාත්‍රාවෙන් ඖෂධ මිල දී ගැනීම සිදු නොකිරීමට පෙළෙඹී සිටි බවත් මෙලෙස ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීම තුළින් ජනතාවට නිසි ඖෂධ මාත්‍රාවන් ප්‍රමාණයන් ලබාගැනීමට අවස්ථාව උදාවන බවත් පැවැසීය.

දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මෙරටට අවශ්‍ය ගුණාත්මකතාවයෙන් ඉහළ ආරක්ෂාකාරී, ක්‍රියාකාරී ඖෂධ නිෂ්පාදනය සහ පහසු මිලට ලබාදීමට පිහිටුවා ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (State Pharmaceuticals Manufacturing Corporation – SPMC) මෙම වසරේ නව ඖෂධ වර්ග කිහිපයක් වෙළෙදපොලට හදුන්වාදීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඒ යටතේ මෙම වසරේ හඳුන්වා දෙනු ලබන Celecoxib 200 mg සහ Sitagliptin 100 mg යනුවෙන් හදුන්වන නව මුල් ඖෂධ වර්ග කාණ්ඩ ද්විත්වය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ‌වෙත හදුන්වාදීම මෙහිදි සිදු කරනු ලැබීය.

එහිදී හදුන්වා දුන් ඖෂධ අතරින් Celecoxib 200 mg ඖෂධය ඉදිමුම් සහිත වේදනා, ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis) සහ Premoted arthritis සඳහා ලබාදෙනු ලබයි. මෙම නිෂ්පාදනය සඳහා වන අවම සිල්ලර මිල රුපියල් 17.60කි.

Sitagliptin 100 mg ඖෂධය දෙවන වර්ගයේ (Type 02) දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙනු ලබන ‌අතර, මෙම ඖෂධයේ උපරිම සිල්ලර මිල රුපියල් 32කි.

ශ්‍රී ලංකාව තුළ ඉහළ ගුණාත්මකතාවෙන් යුතු අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරනු ලබන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදනය, සැකසීම, ගබඩා කිරීම, ඇසුරුම් හා නැවත ඇසුරුම් කිරීම, තාක්‍ෂණික විශේෂඥ දැනුම සැපයීම, ඖෂධ පර්යේෂණ සහ ඖෂධ ප්‍රමිතිකරණය, අලෙවිය සහ ප්‍රවර්ධනය ආදී කටයුතු රැසක් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විඡේමුණි, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ඒ.අතුරලිය එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්