මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගල පොදුජන පෙරමුණේ ක්රියාකාරිකයකු වන ආචාර්ය මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
ඒ පසුගියදා නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගල සම්බන්ධයෙන් කරන ලද අසත්ය ප්රකාශයක් හේතුවෙන් ඒ මහතාට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමිනි.
කඩුවෙල දිසා අධිකරණයේ අංක 8892/එම් යටතේ පවරා ඇති මෙම නඩුව මගින් නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගල, මහින්ද පතිරණගෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇති අතර මහින්ද පතිරණ තමාටත් තම දේශපාලන ව්යාපාරයටත් අපහාස කිරීමේ අරමුණින් සිතාමතාම අසත්ය කරුණු ප්රචාරය කිරීම තුළින් මෙම අපහාසය සිදුකර ඇති බවට නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගල අධිකරණයට කරුණු දක්වා ඇත.
ආචාර්ය මහින්ද පතිරන 2025 සැප්තැම්බර් මාසයේ දිනක ප්රසිද්ධකරන ලද ෆේස්බුක් පළකිරීමක් මගින් නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගලට කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපාභාගී නිවාසයක් ඇති බවට අසත්ය සහ ද්වේෂ සහගත ප්රකාශයක් සිදුකර ඇති බවත් එම නිවාසය මිලදී ගැනීම සදහා මුදල් සොයාගත් ආකාරය සැක සහිත බවත්, එය අල්ලසක් විය හැකි බවටත් ආදී වශයෙන් කරුණු දක්වා තිබූ බවත් ඒ සියල්ල මුළුමනින්ම අසත්ය හා සාවද්ය බවත් නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගල තම පැමිණිල්ලෙන් දක්වා තිබේ. තවද මහින්ද පතිරණ, සචින් රත්වත්තේ නමැති පුද්ගලයෙකුගේ ෆේසුබුක් ගිනුමක් උධෘත කරමින් මෙම ප්රකාශය සිදුකර ඇති බවත්, එම ෆෙස්බුක් ගිණුම සත්ය එකක්ද නැත්ද යන්න පවා සැක සහිත බවත් නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගල තම පැමිණිල්ලෙන් ප්රකාශ කර ඇත.
මහින්ද පතිරණගේ පළකිරීම බොහෝ සේ සමාජ ගතව ඇති බවත් එයින් තම කීර්ති නාමයට බලවත් අපහාසයක් සිදුව ඇති බවත් නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගල එම පැමිණිල්ලෙන් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු නිවැරදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස ඉල්ලා යවන ලද එන්තරවාසිය ප්රතික්ෂේප කිරීමක් මහින්ද පතිරණ විසින් සිදු කර නොමැති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය ඇමති නීතීඥ සුනිල් වටගල සිය පැමිණිල්ලේ සදහන් කර තිබේ.










