හිටපු අමාත්ය රාජිත සේනාරත්න 2014 වසරේ ඇමතිධුරය දරණ සමයේ සිදු කළ වංචාවකට අදාළව ඔහු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් විභාගයට ගන්නා දිනය නියමකිරීම සඳහා එය ජුනි මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
එම නඩුව අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ කැඳවා තිබේ.
එහිදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය වෙත පැමිණිල්ල විසින් ලබාදිය යුතු ලේඛන ලබාගෙන නඩු විභාගයට සූදානම්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව නඩුව ජුනි මස 16 වනදා කැඳවීමට නියමකර ඇති මහාධිකරණ විනිසුරුවරයා එදින නඩුව විභාගයට ගන්නා දිනය නියමකරන බව ප්රකාශ කර තිබේ.
එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්යක්ෂ නිල් රවීන්ද්ර මුණසිංහ නම්කර තිබේ.
පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2014 වසරේ අගෝස්තු මස පළමු වනදා සහ එම වසරේ නොවැම්බර් මස පළමු වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය “සී ගල්ෆ් යූ.කේ ප්රයිවට් ලිමිටඩ්” නැමැති සමාගම වෙත අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනාකොට එවක ධීවර අමාත්ය ලෙස කටයුතුකළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්රය ගොනුකර තිබුණි.
එම ක්රියාව තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සඳහන් දූෂණය නැමැති වරද සිදුකර ඇති බව මෙම අධිචෝදනා පත්රය තුළින් සඳහන් කර තිබේ.
එම අධි චෝදනා පත්රයේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 17දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 55ක්ද දක්වා ඇත.










