රාජපක්ෂවරුන් ඇතුළු පසුගිය ආණ්ඩු සමයේ ජනතා මුදල් හොරකම් කරමින් එම මුදල් විදෙස් බැංකුවල තැන්පත් කර ඇති පුද්ගලයින්ගේ තොරතුරු හා එම මුදල් නැවත ශ්රී ලංකාවට ගෙන ඒමට ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීමට එකඟ වී තිබේ. ඇමෙරිකාවට අමතරව ඉන්දියාව හා ස්විස්ටර්ලන්තයද මෙම කටයුත්ත සඳහා තාක්ෂණික සහාය හා මූල්ය විශේෂඥයින්ගේ සහාය දීමට ඉදිරිපත් වී සිටී.
පසුගියදා විදේශ අමාත්ය මංගල සමරවීර මහතා ප්රකාශ කළේ රාජපක්ෂවරුන් විදෙස් බැංකුවල තැන්පත් කර ඇති රුපියල් බිලියන 18ක් පිළිබඳව තොරතුරු මේ වනවිට සොයා ගැනීමට හැකි වී තිබෙන බවය. ඊට අමතරව ස්විස්ටර්ලන්තයද සිය රටේ මහා පරිමාණ මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර ශ්රී ලාංකිකයන් පිරිසක්ද සිටින අතර ඔවුගේ වත්කම් පිළිබඳවත් එසේ මුදල් තැන්පත් කර තිබී හදිසියේ නැවත ලබා ගත් තවත් ශ්රී ලාංකිකයන් පිරිසකගේ විස්තර ප්රසිද්ධියට පත් කළේය.
පසුගියදා මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහා පරිමාණ මුදල් වංචා පිළිබඳව තොරතුරු සෙවීම වෙනුවෙන් පිහිටුවා තිබෙන පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් හමුවී ඔවුන් සතු තොරතුරු ලබා දී ඇති වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී විදෙස් බැංකුවල තැන්පත් කර තිබෙන මහා පරිමාණ මුදල් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.









