මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ දේශපාලන ජීවිතයේ පට්ටම රැඩිකල් ප්රකාශය පසුගිය සතියේ කරන ලද බව පැහැදිලිය. ජනතාව විසින් ගෙදර යවනු ලැබූ රනිල් අවුරුද්දකට ආසන්න කාලයක් විඳි විවේක සුවය නිම කර පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමට පසුබිම සකසා දෙන ලද්දේ, මානවම්ම රජු ආවේශ වීමෙන් පසුව බව ද ඔහු විසින් සනාථ කර තිබිණි. දිවුරුම් දීමෙන් පසුව නාරාහේන්පිට, අභයාරාමයට ගිය රනිල් ආගමික වතාවත් හි යෙදීමට තරම්ද තමා භක්තිවන්ත බව පෙන්වීය. යාන්තම් දෙකට නැවී හාමුදුරුවන්ට වැඳීමෙන් පසුව බෝධියට පැන් විසි කිරීමටද අමතක නොකර තිබිණි.
මේ සැදැහැවත් දේශපාලන නායක හට පිරිත් නූල් ගැට ගසා ආශීර්වාද කළෝ පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝය. එහිමියන්ගේ දේශපාලන ඉතිහාසයේ පට්ට රැඩිකල් ප්රකාශය කළේ එම අවස්ථාවේය. එනම්, රනිල් වික්රමසිංහගේ හිසට මහින්ද රාජපක්ෂගේ කඳ එක් කළ යුතු බවය.
පූජ්ය මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ මේ ප්රකාශය අසන, දකින අයට විවිධ චිත්තරූප මැවෙන්නට ඇති බව නො අනුමානය. මහබඹාගේ හිසට මහසෝනාගේ කඳ එක් කිරීම වැනි විවිධ චිත්තරූප මැවෙන්නට ඇත. මහබඹා යනු ඉදිරිය සහ පසුපස යන දෙපැත්තටම මුහුණු ඇත්තෙක් බව ජනශ්රැතියේ සඳහන්ය. මහසෝනා යනු මිනිස් කඳක් සහ වලස් හිසක් ඇත්තෙක් බවද කියැවේ. එනයින් ගත් කල රනිල්ගේ හිසට මහින්දගේ කඳ එක් කිරීමේ දේශපාලන ව්යාපෘතිය නරකම එකක් නොවන බව කෙනකුට පෙනී යා හැකිය.
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ මේ ප්රකාශයේ ඉතා හොඳින් අවධාරණය කර ගත යුතු දෙයක් තිබේ. ඒ මහින්දගේ හිසට රනිල්ගේ කඳ එක් කිරීමක් නොව රනිල්ගේ හිසට මහින්දගේ කඳ එක් කිරීමක් ගැන කීමය. ඒ අනුව ගත්තා ම මහබඹා සහ මහසෝනා හරියට ම හරියන්නේය. ආනන්ද හිමියන් කියන්නේ, රනිල්ට එකවර පසුපස සහ ඉදිරිය යන ප්රතිවිරුද්ධ අන්ත දෙකම දැකිය හැකි බවය. රනිල්ගේ මානවම්ම රජ කතාවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඒ තරමට ම වසඟයට පත්ව සිටින බව පැහැදිලි ය.
ආනන්ද හිමියන්ගේ වසඟ වීම උන් වහන්සේ වෙන ම තබා මේ කතාව යට තිබෙන දේශපාලනය ජනතාව හරියට ම කියවා ගත යුතුව තිබේ. මෙම කියවා ගැනීමට ප්රවේශ වීම සඳහා 2015-19 කාලය හැර වෙන තැනක් නැති තරම්ය. එදා තිබුණු ආණ්ඩුව සම්බන්ධයෙන් ”එතකොට එදා රනිල්ගේ හිස සහ මෛත්රීගේ කඳ නොගැළපුණේ ඇයි” යන්නය. ඒ පූට්ටුවට විරුද්ධව ආනන්ද හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා වැඩි පිරිසක් උඩ පැන පැන තැළී ය. තැළීමෙන් නොනැවැතී ඇතැම් භික්ෂුන් වහන්සේලා විවෘතවම ප්රකාශ කර සිටියේ, ‘හිට්ලර් වැනි පාලකයෙක්’ අවශ්ය බවය. මෙය එළිපිට නොකීවද, එම අදහසේ තවත් භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් සිටි බව සනාථ වී තිබිණි. ඒ වෙනින් කවුරුවත් නොව ගෝඨාභය රාජපක්ෂ බවටද බෞතීස්ම කර තිබිණි. පසුව එය එළිදැක්වීය.
රනිල් වික්රමසිංහගේ දේශපාලන උපත සිදු වන්නේම නව ලිබරල්වාදී ආර්ථික සහ දේශපාලන උපායමාර්ගය ගෙන යාම වෙනුවෙන්මය. 2015 සිට 2019 දක්වා මෛත්රීපාල සිරිසේන ජනාධිපති සමඟ පසු කාලයේ දී දිගින්දිගටම හැපුණේද ඔහුගේ එම උරුමය ක්රියාත්මක කිරීමේ අවශ්යතාව සඳහාය. රනිල්ගේ උරුමය ක්රියාත්මක කිරීමට සිදු වී තිබුණේ, හිස කෙසේ වෙතත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නෂ්ටාවශේෂ මෙන් වූ මෛතී්රපාල සිරිසේනගේ කඳ සමඟය. එදත් ඔළුව රනිල් වික්රමසිංහගේය. අද ආනන්ද හිමියන් යෝජනා කරන්නේද රනිල්ගේ ඔළුවය.
මේක මෙහෙම වෙන්නේ අහේතුකව නොවේ. ඉතාම පුළුල් දේශපාලන, ආර්ථික පදනමක් සහිතවය. රනිල් වික්රමසිංහගේ නව ලිබරල් ආර්ථික, දේශපාලන උපත සිදුවීමේ සිට බලපාන තත්ත්වයක්ය. ඔහු කොළඹ, කුරුඳුවත්තේ වික්රමසිංහ පරපුරේ දරුවෙක්ය. ඔවුන් සල්ලිකාර, ඉංග්රීසි චින්තනයක් සහිත පවුලක් බව අමුතුවෙන් නොකිව යුතුය. පියා, නීතිඥ එස්මන්ඩ් වික්රමසිංහය. මව කුලවත්, ධනවත් සහ නැණවත් නාලිනී විජේවර්ධනය. ඔවුන්ගේ පුතකු වන රනිල් වික්රමසිංහ රාජකීය විද්යාලයේ දරුවෙක්ය. ඉන් පසුව කොළඹ විශ්වවිද්යාලයේ අධ්යාපනය ලබා පසුව නීති විද්යාලයෙන් නීතිඳ වෘත්තියට සුදුසුකම් සපුරාලීය. ඔහුගේ දේශපාලනයේ දී සුවිශේෂී වන්නේ, ජේ.ආර් ජයවර්ධනගේ දේශපාලන බෑනා වීමය. තවත් ලෙසකින් කියන්නේ නම්, ජේ. ආර්. ජයවර්ධනගේ ඇවෑමෙන් නව ලිබරල්වාදි ආර්ථික, දේශපාලන ක්රියාවලිය ඉදිරියට ගෙන යාමේ කිරුළ හිමි කුමාරවරුන් අතර සිටීමයි. ඒ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන දෙදෙනා අතරද සිටීමය.
මෙවන් වූ රනිල්ගේ හිසට සරිලන පෙනීමකින් යුතු ශරීර කූඩුවක් නොතිබිණි. 1994 සිට දිගින්දිගටම පෙන්නුම් කළේ ඒ බවයි. 2014දී තීරණාත්මක දේශපාලන කඩඉමක් පැමිණියේ, මහින්ද රාජපක්ෂ ඉතා ඉක්මනින් ජනාධිපතිවරණය කැඳවීම නිසාය. එහි දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි අර්ජුන රණතුංගට සහ නිමල් සිරිපාල ද සිල්වාට කරන ලද යෝජනාව නොපිළිගැනීම නිසා මෛත්රීපාල සිරිසේනගේ වාරය පැමිණියේය. ඔහු එකපයින් එය භාර ගත්තේය.
මේ අනුව රනිල් වික්රමසිංහගේ හිසට බද්ධ කිරීමට සිදු වූයේ නෂ්ටාවශේෂ වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රී කඳය. මෛත්රීපාල සිරිසේන සම්බන්ධයෙන් ඔහුගේ දියණිය, චතුරිකා සිරිසේන ‘ජනාධිපති තාත්තා’ පොත ලියූව ද, ඉන් කිසිදු දේශපාලන ජයග්රහණයක් අත් නොවීය. මේ බව පැහැදිලි වන්නේ ඔහුගේ ‘විකිපීඩියා’ අඩවියෙන්ය. එහි ‘උගත් ශාස්ත්රාලය’ වශයෙන් සඳහන් වන්නේ ශ්රී ලංකා කෘෂිකර්ම පාසල සහ ‘මක්සිම් ගෝර්කි සාහිත්ය ආයතනය’ යන ද්විත්වය පමණය. රනිල් වික්රමසිංහගේ අර කියූ සියලු දත්තවලින් කියැවෙන ඔළුවට මේ වැනි මෛත්රීගේ ශරීරය පිරිද්දීමෙන් සිදුවිය හැක්කේ කවර නම් විකෘතියක් ද? 2015 සිට 2019 දක්වා මේ රට තුළ දැකිය හැකි වූයේ ඒ විකෘතියයි. මුරුත්තෙට්ටුවේ හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සාතිශය බහුතරය උඩ පැන පැන තැළුවේ මෙම විකෘතියටය.
ඔවුන්ගේ එදා ප්රකාශය වූයේ, එළහරකයි, මිහරකයි වගේ දෙපැත්තට අදින පාලකයන් නොව තනි, සෘජු තීරණ ගත හැකි පාලකයකු රටට අවශ්යයි යන්නයි. එය කොතරම් දුරදිග ගියාද කියන්නේ නම්, හිට්ලර් වගේ පාලකයෙක් බව කීමට තරම් ඔවුහු එඩිතර වූහ. දැන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඇල්ලේ ගුණවංශ හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා දැඩි ප්රහාර එල්ල කරන්නේ, ඒ වැනි තනි, කෙළින් තීරණ ගන්නා පාලකයාටය. තවත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ”කට ඇරියොත්, මොනවා කියැවෙයිද දන්නේ නෑ” යනුවෙන් සිතමින් දත් විකාගෙන සිටිති.
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ කට ඉස්සර වන්නේ මේ දත්කාගෙන සිටීම තව දුරටත් කළ නොහැකි තැනය. රනිල් වික්රමසිංහට මානවම්ම ආවේශ වී ”ජාත්යන්තර මූල්ය අරමුදල සරණං ගච්ඡාමි” යනුවෙන් නැවත වරක් පාර්ලිමේන්තුවේ දී ශපථ කරයි. ඒ ‘මානවම්ම රනිල් වික්රමසිංහට’ මුරුත්තෙට්ටුවේ හිමියෝ වසඟ වෙති. එසේ වූ තැන රනිල්ගේ හිසට මහින්දගේ කඳ පිරිද්දීමට කතා කියති. මෛත්රීගේ කඳ වෙනුවට මහින්දගේ කඳය. තනි, සෘජු තීරණ ගන්නා නායකයාට පළපුරුද්දත්, කළ පුරුද්දත් දෙකම නැති බව කියැවේ. ඒ නිසා ඔහු ඉවත් කර රනිල්ගේ හිසට මෛත්රීගේ කඳ වෙනුවට මහින්දගේ කඳ එකතු කිරීමට යෝජනා කරති.
මේ මහින්දගේ කඳ නිර්මාණය වී තිබෙන්නේ කෙසේ ද? මැදමුලන වලවු පෙළපතෙන් ය. ඩී.ඒ රාජපක්ෂගෙන් පටන් ගන්නා රාජපක්ෂ දේශපාලන වලවු පෙළපත තුළ ය. එම ඩී. ඒ. රාජපක්ෂ යුවළගේ සොහොන් කොත් ‘පසුව ගෙවීමේ පදනම මත‘ මහජන මුදලින් ඉදි කිරීම වැනි ක්රියාදාමය ගැන කිසිවක් නොසැලැකිය යුතු ය. මහින්ද රාජපක්ෂ අධ්යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විද්යාලයේ සහ තර්ස්ටන් විද්යාලයේය. පසුව නීති විද්යාලයේය. 1970 සිට දශක පහකට වඩා කළ පුරුද්ද සහ පළපුරුද්ද සහිතය. ඒ සියල්ලටම වැඩියෙන් ‘ආර්ය සිංහල බෞද්ධ’ හොඳ පෙනීමකින් යුක්තය. බුරුසු උඩු රැවුලක් සහිත ආරෝහ පරිනාහ දේහයකින් යුක්තය.
මෙන්න මේ මහින්ද රාජපක්ෂ කඳට අයි.එම්.එෆ් අචලව සරණ ගිය මානවම්ම රනිල් වික්රමසිංහ එක් කළ යුතුය. නෂ්ටාවශේෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කඳ වෙනුවට පිපී තිබෙන පොහොට්ටු පක්ෂයේ මහින්ද එකතු කිරීමක්ය. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හැව සහමුලින් ම ඉවත් කර පොහොට්ටු පක්ෂයේ වීම නිසා නව ලිබරල් ධනවාදී ආර්ථික දේශපාලනයට ඉතා හොඳින් ගැළපෙනවා යැයි පුරෝකතනය කළ බව පැහැදිලි ය. මහබඹාගේ හිසට මහසෝනාගේ කඳ බද්ධ කිරීම මෙන් වසඟයක් මෙහි නිර්මාණය කිරීමට නොහැකි වීමටද නුපුළුවන.
ඒත් හාමුදුරුවනේ, තව එක දෙයක් පැහැදිලි කරගෙන සිටීම වැදගත් ය. මේ ආර්ථික-දේශපාලන කඳබඩ පූට්ටු කිරීමේ ඉතිහාසය ලංකාවේ නම් නොවන බවය. තවත් ලෙසකින් කියන්නේ නම්, නව ලිබරල්වාදී ආර්ථික, දේශපාලනය ලෝක මට්ටමින් ව්යාප්ත කිරීමේ මූලාරම්භය ගැන ය. ඒ 1980 දශකයේ මුල සිට එනම්, බ්රිතාන්යයේ බලයට පත් වූ මාග්රට් තැචර්ගෙන් සහ ඇමෙරිකාවේ බලයට පත් වූ රොනල්ඩ් රේගන්ගෙන්ය. ලෝකය පුරා මෙම ආර්ථික – දේශපාලන බල අධිකාරිය පතුරුවාහැරීම ආරම්භ කළේ මාග්රට් තැචර්ගේ හිසට රොනල්ඩ් රේගන්ගේ කඳ පූට්ටු කිරීමෙන්ය. එතැන් සිට මේ දක්වා ලෝකයේ එක පැත්තක කුසගින්නේ මිය යාම්, දිළිඳුකම, සියලුම ආකාරවල අසමානතා, අන්ත ම්ලේච්ඡත්වය, අපරාධ සහ යුද්ධය ගොඩනගැසී ඇත. ඊට ප්රතිවිරුද්ධව ලෝකය අල්ලේ නටවන අන්ත කෝටිපතියන් කීප දෙනෙක්ය.
මේ කීප දෙනා වෙනුවෙන් ලෝකයේ කෝටි 740ක් පමණ වූ මහජන සන්නිපාතයක් කවර හෝ ලෙසකින් නූතන වහල්භාවයේ සිටිය යුතුය. මිනිස් කඩමාලු වී සිටිය යුතුය. තවත් තැනකින් කියන්නේ නම්, මේ කොරෝනා ගෝලීය වසංගතයද කොල්ලකෑමට සහ සූරාකෑමට යොදා ගැනීම දෙස බලා සිටිය යුතුය. ලෝක ආහාර සංවිධානය හෙළි කරන දත්ත අනුව කෝටි 1,100කට ප්රමාණවත් ගෝලීය ආහාර නිෂ්පාදනයක් තිබුණද, වාර්ෂිකව ළමයින් 25,000ක් ආහාර අහේනියෙන් මිය යාම දරා ගත යුතුය. කෝටි සංඛ්යාත පිරිසක් කුසට අහරක් නොමැතිව රාත්රියේ නින්දට යා යුතුය. තැචර්ගේ ඔළුවට රේගන්ගේ කඳ පූට්ටු කිරීමේ ගෝලීය ප්රතිවිපාක මේ ලෙසය.
ලංකාවේ තත්වය ගැන වැඩි විස්තර නොකියා ඉතා ම කෙටියෙන් දැක්වීම උචිතය. නව ලිබරල් ධනවාදී ආර්ථික-දේශපාලනය රනිල්ගේ මාමා ප්රමුඛ බලඇණිය මේ බිමට පත්තියන් කළේ කදිම ආදර්ශ පාඨයක් සම`ගය. ‘බල්ලො මරලා හරි සල්ලි හොයපල්ලා’ යන්නය. ඒ ආර්ථික පදනමින්ය. සමාජ – සංස්කෘතික ජීවිතයට ‘ආච්චි වුණත් මොක ද? හොඳට ලව් කරනවා නම්’ යන්න ලබා දුන්නේය. මෙම සංස්කෘතික ආදර්ශ පාඨය ඉක්මවා ගිය නූතන එකක් අදටත් නොමැත. එහෙත්, ආර්ථික ආදර්ශ පාඨය නම් වෙනස් කර ඇත. ‘අම්මව විකුණලා හරි සල්ලි හොයපල්ලා’ යන්න ය.
හාමුදුරුවනේ, මේ කියන්නේ, ‘ගෙදර බුදුන් අම්මා’ ගැන ය. ‘ජාත්යන්තර මූල්ය අරමුදල සරණං ගච්ඡාමි’ යන්න පාර්ලිමේන්තුවේ නැවත ශපථ කළ මානවම්ම රනිල් වික්රමසිංහගේ හිසට මහින්දගේ කඳ එක් කිරීමෙන් සිදු වන්නේ මේ දේය. එසේ නොවන වෙන කවරක් හෝ සිදු වේද අපේ හාමුදුරුවනේ ! පහදා දෙනු මැනැවි !
ලංකා මාරසිංහ – ලංකා සතිඅන්ත ජාතික පුවත්පත










