රතුපස්වල වෙඩි තැබීමේ සිදුවීමේ හමුදාවේ 04ට යළි සේවය

රතුපස්වල වෙඩි තැබීමේ සිදුවීමේ හමුදාවේ 04ට යළි සේවය

ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානිය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේදි සිදු කළ උද්ඝෝෂණයට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි බ්‍රිගේඩියර්වරයා සහ අනෙකුත් හමුදා සාමාජිකයන් තිදෙනාව නැවත සේවයේ පිහිටුවා ඇති බව ඊයේ (24) අධිකරණයේදී සඳහන් වී තිබේ.

ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට මෙම කරුණු වාර්තා කර ඇත.

මේ අතර එම උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට බරපතල තුවාල සිදු කිරීමේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින යුද හමුදා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ.එම් තිලකරත්න සහ සැකකරුවන් සිව්දෙනා ඊයේ අධිකරණයේ පෙනී සිටි ඇති අතර එම සැකකරුවන් සිව් දෙනාට මාර්තු 28 වැනි දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කර ඇත.

මෙහි ලිපිගොනුව නීතිපතිවරයා වෙත යොමු කර මාර්තු 28වනදා වනවිට නීතිපති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්