මේ වන විට ඇමරිකාවේ උද්ධමන වේගය 6% – 10% සීමාවේ පසුවේ. බටහිර සම්බාධක හේතුවෙන් රුසියාවේ එය 20% දක්වා ඉහල ගොස් ඇත. යුරෝපා සංගමය තුලත් පසුගිය සතිය වන විට 7.5%ක් ලෙස දිස්වේ. කොරෝනා වසංගතයෙන් පසුව ආරම්භ වූ රුසියානු හා යුක්රේන යුද්ධය හේතුවෙන් මෙන්ම චීනයේ නැවතත් වසා දැමීම හේතුවෙන් ලෝක ආර්ථික වර්ධන වේගය කඩා වැටීමකට ලක් විය හැකි බව අන්තර් ජාතික මුල්ය අරමුදල අනතුරු හඟවනුයේ රටවල් 143ක දල ජාතික නිෂ්පාදනය අධ්යයනය කරමිනි.
යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර මුල්ය අරමුදල ලෝක ආර්ථික වර්ධන වේගය 4.4%ක් ලෙස පෙන්වා තිබිණි. කෙසේවෙතත් ලෝක ආර්ථික අවපාතයක් පිළිබඳව ප්රකාශයට පත් කිරීම ප්රතික්ෂේප කරනු ලැබුවත් යුද්ධය නවතා දැමීමට මැදිහත් නොවුනහොත් රටවල් රාශියක ආර්ථික තත්වයන් කඩා වැටීමට ඉඩ තිබෙන බව අදාළ වාර්තාව පවසා සිටි. විශේෂයෙන් යුක්රේනය ලොවට තිරිඟු අපනයන කරනු ලබන රටක් හේතුවෙන් හා රුසියාව තෙල් හා ගෑස් ලෝක වෙළඳපලට සපයන ප්රධාන රටක් වීම හේතුවෙන් යුරෝපය ඇතුළු රටවල් රාශියක ජිවන වියදම හා අත්යවශ්ය ආහාරවල මිල ගණන් ඉතා වේගයෙන් ඉහල ගිය අතර සමහර නිෂ්පාදන වල හිඟයක්ද වාර්තා වී තිබිණි.
විශේෂයෙන් ඇමරිකාව, කැනඩාව හා ජපානය පොලී අනුපාතය ඉහල දැමීම නිසාවෙන් මධ්යම අදායම් ලබන රටවලට ණය ලබා ගැනීමේදී අසීරුතාවයන් ඇතිවීමට ඉඩ තිබේ. මෙම තත්වය හමුවේ දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයන්ටද සමාජ අර්බුදවලට මුහුණ දීමට සිදුවන බව අන්තර් ජාතික මුල්ය අරමුදලේ නව සභාපතිනිය වන Kristalina Georgieva මහත්මිය රොයිටර් පුවත්පත් සේවයට ප්රකාශ කර තිබිණි.
කොරෝනා වසංගතය හා යුක්රේන අර්බුදය හේතුවෙන් තෙල්, ගෑස් හා අත්යවශ්ය ආහාර හිඟවීමෙන් රටවල් රාශියක් අර්බුදයට ලක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද පසුගිය සතියේ අනතුරු හඟවා තිබිණි. අඩු අදායම් ලබන රටවලට ඒ අනුව මැයි මාසයේ පළමුවැනිදා සිට ඩොලර් බිලියන 45ක් වෙන්කරමින් නව අරමුදලක් (RST) පිහිටුවීමට අන්තර් ජාතික මුල්ය අරමුදල තීරණය කර ඇත. මුල්ය හා ගෙවුම් ශේෂයන් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වසර 20කින් ගෙවීමේ පදනම මත මෙම ණය අදාල රටවලට ලබා දෙනු ඇත.
ශ්රී ලංකාවේ ඇතිවී තිබෙන අර්බුදයද සැලකිල්ලට ගනිමින් මුල්ය අරමුදල වාර්තාව සඳහන් කරනුයේ කොරෝනා වසංගතය හා යුක්රේන අර්බුදය හේතුවෙන් අන්ත දිළිඳුභාවයට පත් රටවල් සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 310ක් අවශ්ය බවයි. මේවන විට ශ්රී ලංකාව, ඊජිප්තුව, මොන්ගෝලියාව, ටියුනීසියාව හා ඇන්ගෝලාව දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දී ඇති ප්රධාන පෙලේ රටවල් ලෙස හඳුනා ගෙන ඇත.










