ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය හා එක් වන ශ්රීලනිපයේ හා අනෙකුත් කණ්ඩායම් අද (12) අරලියගහ මන්දිරයේදී එකඟතා ගිවිසුමක් අත්සන් කරන බව පැවසේ. අලියා ලකුණින් යහපාලනය සඳහා වු ජාතික පෙරමුණ ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඔවුන් සූදානම් වේ.
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ඇතුළ රාජපක්ෂ කල්ලියේ දූෂිතයින්ට සන්ධානයෙන් තරග කිරීමට නාමයෝජනා ලබා දීමත් සමග සන්ධානය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබේ. එම තත්වය හමුවේ මේ වනවිට සන්ධානයේ නාම යෝජනා පත්රයද ව්යාකූල වී ඇති බවත් අනාවරණය වේ.
මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට නාම යෝජනා ලබා දීමත් සමග බොහෝ පිරිසක් මැතිවරණයට තරඟ නොකිරීමට සූදානමින් සිටින බවටත් තවත් පිරිසක් දේශපාලනයෙන් සමුගැනීමටත් සූදානමින් සිටින බව පැවසේ. මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ තීන්දුව හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි කලකිරීමකින් සිටින බව පැවසේ. මේ වනවිට රෙජිනෝල්ඩ් කුරේ හා සරත් අමුණුගම දේශපාලනයෙන් සමුගන්නා බව ප්රකාශ කර තිබෙන අතර අද දිනයේදීද තවත් එවැනි ප්රකාශයන් නිකුත් වීමේ හැකියාවක් පවතින බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.









