මුලු සමාජයේ ම අනාගත බලාපොරොත්තු සුන්කර තිබෙන මේ දූෂ්ඨ පාලනය නිමා කර රටට නව යුගයක් නිර්මාණය කිරීමේ බලවේගයක් ගොඩ නැගී අවසන් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පැවසීය.
ඔහු මේ බව පැවසූවේ පසුගිය 27 වෙනිදා මාතරදී පවත්වන ලද අධිටන ත්රිවිධ හමුදා සාමුහිකයේ දිස්ත්රික් සමුළුව අමතමිනි. එම සමුළුව අමතා වැඩි දුරටත් ඔහු පළ කළ අදහස් පහත දැක්වේ.
ජාතික ජන බලවේගයත්, එය නියෝජනය කරන අපත් තත්වයන් හඳුනාගෙන තත්වයන්ට අනුව සංවර්ධන වෙන ව්යාපාරයක්. අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස කටයුතු කරන අවස්ථාවේදී, සටන් විරාම ගිවිසුම් ගහන වෙලාවෙදි, සුනාමි සහන මණ්ඩලය ගෙන එන වෙලාවෙදි ඔබලා සටන් පෙරමුණුවල සිටියා. අපි දේශපාලන පෙරමුණ ලෙස සිටිමින් කටයුතු කළා. අපි යුද්ධය අවස්ථාවේදී ඒ තත්වයට අනුව වෙනස් වුණා. අපේ වෙනස්වීම තේරුම් ගන්න නොහැකි වුණු අය අර්බුදයට ගියා. සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමට සැරසුණු මොහොතේ අපිට එය තේරුම් ගත හැකි සවිඥානයක් තිබුණා. සටන් විරාම ගිවිසුම මගින් රනිල් වික්රමසිංහ හරහා ප්රභාකරන්ට තමන්ගේ ගමන යාමට හැකි තත්වයක් වර්ධනය විය හැකිව තිබුණා. ඒකට නෝර්වේ, යසුසි අකාසිලා වැනි ජාත්යන්තර දේශපාලනයත් පෙළ ගැසී තිබුණා. ඒක වළක්වන්න අලුත් දේශපාලනයට අනුව අලුත් වෙන්න අපිටත් සිදුවුණා. ඒකෙ ප්රතිඵලයක් ලෙස අපි සන්ධානයකට එකතු වුණා. ඒ වගේම සුනාමි සහන මණ්ඩලය ඇවිත් තත්වයන් වෙනස් වෙනකොට ඒ අලුත් තත්වය තේරුම් අරගෙන ආණ්ඩුවේ ඇමතිකම් දාලා එළියට එන්න සිදුවුණා. ඇමතිකම් ගත්තේත් ඇමතිකම් දාලා ආවේත් දේශපාලන හේතූන් නිසා. ඒ පවතින තත්වයන්ට අනුව වෙනස් විය හැකි දේශපාලනයක් නිසා. එක තැන පල්වෙන දේශපාලනය අලුත් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔබලා සටන් පෙරමුණේ සිට කාර්යභාරයක් කරන විට සටන් පෙරමුණේදි කරන්න බැරි කාර්යයක් එදා දේශපාලන පෙරමුණේදි ජනතා විමුක්ති පෙරමුණ කළා.
යල් පැන ගිය පක්ෂ අපට වඩා අපි ගැන විග්රහ කරනවා. ඒගොල්ලන්ට කියන විදිහට අපි දේශපාලනය කරන්න ඕනෙ. ඒගොල්ලන්ට අනුව අපිට ව්යාපාරිකයන් සමග, වෙන පක්ෂ සමග, සංවිධාන සමග ගනුදෙනු කරන්න බැහැ. හමුදා, පොලීසි සමග ගනුදෙනු කරන්න බැහැ. ජාත්යන්තර මූල්ය අරමුදල හමුවීම කරන්න ඕනෙ එයාලා කියන විදිහට. එයාලගේ දේශපාලන ව්යාපාර දියාරු වී යනවා. හර්ෂ ද සිල්වාට අනුව අපට ජාත්යන්තර මූල්ය අරමුදල අපේ කාර්යාලයට පැමිණ අපිව හම්බ වෙනකොට ඒක වැරදියි. ජාතික ජන බලවේගයේ අපි ඉන්න ඕන විදිහ කියලා ඒ ගොල්ලෝ හදාගත් ලෝකයක් තිබෙනවා. දේශපාලනයේ ඉදිරියට යන්නේ නැති යල්පැන ගිය අය හිතන්නේ එහෙම. අපි අලුත් වෙමින් ඉදිරියට යන නිසයි ලක්ෂ ගණනින් ජනතාව එකතු වෙන්නේ. අපි මේ පටන් ගත්තා විතරයි. විශේෂයෙන්ම ආගමික නායකයින් හමුවෙන කොට ඒක ප්රශ්න කරනවා. අපි පන්සල් ගියත් වැරදියි, නොගියත් වැරදියි. අලුත් වෙන්න දන්නේ නැති හැමදාම ආපස්සට යන දේශපාලන පක්ෂ එහෙම බව අපි දන්නවා.
අනික් හැමෝම පොදු අරමුණක් වෙනුවෙන් එකතු වෙනවා වගේ ආරක්ෂක අංශවල විශ්රාමිකයන් එකතු වෙන්න ඕනෑ නැද්ද? සමාජ මාධ්ය ක්රියාකාරිකයෝ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සමාජ වෙනස වෙනුවෙන්, පුනර්ජීවනයක් වෙනුවෙන් ඒගොල්ලන්ගේ රෙදි ගලවන කොට පාර්ලිමේන්තුවේ අණපනත් ගෙනත් මර්දනය කරන්න උත්සාහ කරනවා. පොලීසිය බලා ඉන්දදී කොල්ලුපිටියේ සාමකාමී උද්ඝෝෂකයන් දස දෙනෙකුට විතර ගැහුව මුහුණු බැඳගත්ත කට්ටිය කවුද? ඔය මුහුණු බැඳගෙන ආවේ පොලීසියේ වැඩකරන අය නම්, ඉතාමත් සහොදරත්වයෙන් ඉල්ලන්නේ කරුණාකර ඔය වැඬේ නවත්වන්න කියලයි. සමාජයේ මුළු අනාගතයක් බලාපොරොත්තු වෙන හීන නැතිකරන්න දායක වෙන්න එපා. මේ දුෂ්ට දේශපාලනය නිමාකර, නව යුගයක් නිර්මාණය කරන බලවේගයක් ගොඩනැගී අවසන්. බයවුණු නායකයෝ පාර්ලිමේන්තුවෙන් නීති හදාගත්තාට මහපොළොවේ ක්රියාත්මක කරන්න බැහැ. ඒ යුගය අවසන්.
හැම පවුලකම සාමාජිකයෙක් ජාතික ජන බලවේගයේ කුමන හෝ සංවිධානයක සාමාජිකයෙක් වී අවසන්. කාන්තාවන්, තරුණයන්, ශිෂ්යයන්, සහ ගොවියන්, ධීවරයන් වශයෙන් වගේම විශ්රාමික ත්රිවිධ හමුදා සාමූහිකය වගේම සංවිධානය වී අවසන්. ඒ නිසා අලුත් යුගයක් වෙනුවෙන් පක්ෂ පාට පැත්තකින් තියලා එකතු වෙන්න කියලා බොහොම සහෝදරත්වයෙන් ඉල්ලනවා. ජයග්රහණය තෙක් මේ ගමන අධිෂ්ඨානයෙන් ඉදිරියට යන්න තවදුරටත් සංවිධානය වෙමු.










