2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්රී ලංකා ආර්ථිකය 5.4%ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආර්ථිකයේ සාමාන්ය මිල මට්ටම 2025 තෙවන කාර්තුවේ මුල පටන් ඉහළ යාම ආරම්භවීමත්, බොහෝ දුරට ස්ථාවරව පැවති ශ්රී ලංකා රුපියලේ බාහිර අගය ප්රධාන මුදල් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් අඩුවීමත් ව්යවසායකයින්ට සහ අපනයනකරුවන්ට සානුබල සැපයූ අතර, සංස්ථාපිත සහ පෞද්ගලික අංශය හරහා පුළුල් වූ දේශීය ණය සැපයුම, ශ්රී ලංකා ආර්ථිකයේ වාර්තා වූ 5.4%ක වර්ධනයට උපකාරී වූ බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව, සංචාරක පැමිණීම් වැඩිවීම, ආයෝජන භාණ්ඩ සැපයුම වැඩිවීම සහ අතරමැදි භාණ්ඩ ආනයන පිරිවැය අඩුවීමත්, නිමවුම් කර්මාන්ත ආර්ථික කටයුතු කිහිපයක, ඉදිකිරීම් කර්මාන්තය සහ නවාතැන් හා ආහාර පාන සැපයීම, භාණ්ඩ හා මගී ප්රවාහන සේවා ඇතුළත් බොහෝ සේවා ආර්ථික කටයුතුවල වාර්තා වූ වර්ධනයට මූලික වූ බවද ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
2025 තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික අංශය 3.6%ක්, කර්මාන්ත අංශය 8.1%ක් හා සේවා අංශය 3.5%ක වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත් වී ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.










