මින් ඉදිරියට පැවැත්වෙන සියලු මැතිවරණවලදී මාධ්යයේ ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා මාධ්ය නිත්ය නියෝජිත කමිටුවක් පත් කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා තීරණය කර ඇත.
එම කමිටුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ සිට ආරම්භ කිරීමටද මැතිවරණ කොමසාරිස්වරයා විසින් සැලසුම් කර තිබේ.
මෙහිදී මැතිවරණ කොමසාරිස්ගේ, මානව හිමිකම් කොමිසමේ, අගමැතිගේ හා ජනමාධ්ය ඇමැතිගේ නියෝජිතයකුද මෙම කමිටුවට ඇතුළත් වන අතර මෙරට ක්රියාත්මක වන සියලුම විද්යුත් හා මුද්රිත මාධ්ය ආයතන නියෝජිතයන්ද මෙම කමිටුවේ සාමාජිකයන් වේ.
මැතිවරණයකදී මාධ්ය ආයතන කටයුතු කරනා ආකාරය ගැන මෙහිදී තීන්දු තීරණ ගැනීමට නියමිත අතර එම තීන්දු තීරණ සම්බන්ධයෙන් කමිටු නියෝජිතයන් වගකීමට බැඳී සිටින බවද මැතිවරණ කාර්යාලය පවසයි.









