මැදමුලනේ ගෝඨා සහ වනාතේ සුනිල්

ගෝඨාභය රාජපක්ෂ ශී‍්‍ර ලංකාවේ වත්මන් ආරක්ෂක ලේකම්වරයායි. ඒවගේම ශී‍්‍ර ලංකා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද වේ. ගෝඨාභයගේ උපන් ගම හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මැදමුලනයි. ඔහු ශී‍්‍ර ලංකා යුද හමුදාවට කෙඩෙට් නිළධාරියකු හැටියට බැඳුනේ 1971 අපේ‍්‍රල් 26 වැනිදාය. ගෝඨාභය පැවැත එන්නේ දේශපාලන පවුලකිනි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ සහ  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඔහුගේ සෙහොයුරන්ය. මේ ලේඛනයට රාජපක්ෂ පවුලේ තවත් නම් රාශියක් එකතු විය යුතුය. ඔහුගේ පියා ඩී. ඒ. රාජපක්ෂ, පියාගේ සොහොයුරා වූ ඩී. එම්. රාජපක්ෂ, ඩී. එම්. ගේ පුතුන් වූ ලක්ෂ්මන් සහ ජෝර්ජ් රාජපක්ෂ දේශපාලන පවුලේ මුල් පුරුක්ය. දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද ගෝඨාභය පවසන්නේ ඔහු දේශපාලනය නොකරණ බවයි. නමුත් ඔහුට ශී‍්‍ර ලංකා යුද හමුදාවට බැඳීමේ අවස්ථාව පෑදුණේ, හමුදා සේවයෙන් නොනැවතී ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ තනතුරු හිමි වූයේ “පවුලේ දේශපාලනඥයා” වූ මහින්ද රාජපක්ෂගේ දේශපාලනය නිසාය.

ගෝඨාභය පිළිබඳ පොතක් ලියූ සී. ඒ. චන්ද්‍රපේම මහින්දගේ දේශපාලනය හරහා ඔහු හමුදා සේවයට එක් වූ අයුරු විස්තර කරණුයේ මෙලෙසිනි. “අගමැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායකත්, මහින්ද රාජපක්ෂත් කිට්ටු මිතුරන් වූ අතර ඔවුන් දෙදෙනාම එකල හමුදාපති සේපාල ආටිගලව හමුදාපති නිවසේදී බැහැදැක සතුටු සාමීචියේ යෙදීමේ පුරුද්දක් ඇතිකරගෙන තිබුණේය. මෙවැනි එක් හමුවීමකදී හමුදාපති ආටිගල මහින්දට යෝජනා කර සිටියේ ඔහුගේ එක් සොහොයුරෙකු යුද හමුදාවට බන්දන ලෙසය. ඒ වනවිටත් රාජපක්ෂ පවුලේ වැඩිමලා වූ චමල් රාජපක්ෂ පොලිස් නිලධාරියෙකු විය. ආටිගලගේ යෝජනාව මහින්ද ගෙනගියේ ඔහුගේ බාල සොහොයුරු ගෝඨාභයටය. ඒ වනවිට ගෝඨාභය කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කර තිබුණි. පවුලේ නිහඬම චරිතය වූ ගෝඨාභයට හමුදා වාතාවරණයක් තුළ පැවැතිය හැකිද යන්න ගැන චමල්ට සැකයක් විය.

පොලිස් නිලධාරියෙකු හැටියට තමන්ගේ අත්දැකීම් අනුව යමින් චමල් ගෝඨාභයට කියා සිටියේ හමුදා ජීවිතය එතරම් පහසු නොවන බවයි. ගෝඨාභය හමුදාවට බැඳීම ගැන චමල් විරුද්ධ වුවද ඔහුගේ බාල සොහොයුරු හමුදාවට බැදීමට ස්ථිර තීන්දුවක් ගනු ලැබූ පසු චමල්ද එයට එකඟ වී ගෝඨාභයගේ සේවා ගිවිසුමට ඇපකරුවකු ලෙස අත්සන් කළේය. ඒ කාලයේ ති‍්‍රවිධ හමුදාවට හෝ පොලීසියට බැඳීම එතරම් පහසු කාර්යයක් නොවීය. ඒවා එකල සුපිරි රැකියා විය. ගෝඨාභය යුද හමුදාවට බැඳීමට වසර කීපයකට පෙර සියලුම කෙඩෙට් නිලධාරීන් පුහුණු කරණ ලද්දේ එංගලන්තයේ සැන්ඩ්හර්ස්ට් මිලිටරි ඇකඩමියේය. ඒ විදේශගත වීම විරල වූ යුගයකය.

මේ නිසා එකල ති‍්‍රවිධ හමුදා නිලධාරීන් තෝරාගැනීමේ අවසාන සම්මුඛ පරීක්ෂණයට රටේ ඉහළම සිවිල් හා මිලිටරි නිලධාරීන් ගණනාවක්ම සහභාගී විය. ගෝඨාභය අවසන් සම්මුඛ පරික්ෂණයට ගිය විට පරීක්ෂක මණ්ඩලයේ සිටියේ නියොජ්‍ය ආරක්ෂක ඇමති ලක්ෂ්මන් ජයකොඩි, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජිත මැකී රත්වත්තේ, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වොල්ටර් රත්නවේල් හා යුද හමුදාපති සේපාල ආටිගලය. යුධ හමුදාවට තෝරා ගැනීමෙන් පසු ගෝඨාභය 1971 අපේ‍්‍රල් 26 වැනිදා කොළඹ යුද හමුදා මූලස්ථානයේදී නවක කෙඩෙට් නිලධාරීන් 20 දෙනෙකුගේ කණ්ඩායමට එක්විය.’’ (ගෝඨාභයගේ යුද්ධය පිටුව 6-7)

මේ වන විට කොළඹ නගරය තුල විශාලතම ඉඩම් අත්පත් කර ගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මකය. එයට ඉඩම් අක්කර 72 ක භූමිප‍්‍රමාණයක් අයත් වේ. බොරැල්ල සහ වනාතමුල්ල ප‍්‍රදේශවලින් මෙම ඉඩම් පැහැරගැනීමට නියමිතය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව නිවාසවල අංක ප‍්‍රදර්ශනය කරමින් බලහත්කාරයෙන් ඉල්ලුම් පත‍්‍රයක්ද ලබාදෙමින් බොරැල්ල, වනාතමුල්ල ප‍්‍රදේශයේ 34, 45, 49, 51, 63, 66, සරණපාල හිමි මාවත, ගඟ පහළ සහ කොටාපාරේ පිහිටි 188 වත්ත ප‍්‍රදේශයේ පදිංචි ජනතාව ඉවත් කළ යුතු බවට තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ නායකත්වයෙන් යුත් නාගරික සංවර්ධන අධිකාරියයි. එම අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මිනිස් වාසස්ථාන ඉවත් කෙරේ. කොළඹ නගර සභා බල ප‍්‍රදේශයේ පංචිකාවත්ත, ඇපල්වත්ත, උතුරු කොළඹ, දෙමටගොඩ, නාරාහේන්පිට, කාසල් රෝහල ඉදිරිපිට වැනි ස්ථාන ගණනාවකින් මිනිසුන් ඉවත් කරනු ලැබීය. ඉවත් කිරීම් සිදු කරනු ලබන්නේ වසර ගණනාවක් පුරා ගොඩනඟාගත් මහජනතාවගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන අන්තනෝමතික ලෙස කඩා බිඳ දමමිනි. මේ නිසා ඔවුන්ගේ ආර්ථික සහ සමාජයීය ජීවිත සුනු විසිනු වී ඇත. සංවර්ධනයේ නාමයෙන් මිනිස් ජීවිත මුලින් උදුරා ඉවත් කළ හැකි වල්පැලෑටි සේ සලකා අධිකාරියේ බලධරයෝ කි‍්‍රයාකරති. පදිංචි ස්ථාන වලින් මිනිසුන් එළවා දැමීමට පැමිණෙන්නේ හමුදා නිලධාරීන්ය. ඒ නිවාස සංවර්ධන අධිකාරියේ ලේබලයට මුවා වීය.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය පෙරට දමා ගනිමින් දේශීය හා විදේශීය කොම්පැනිවලට විකුණා දැමීමට ආණ්ඩුව මෙම ඉඩම් පැහැරගන්නා බව පැහැදිලිය. ඒ සඳහා හමුදාව යොදා ගනිමින් තිබීම හිට්ලර් පන්නයේ රාජ්‍ය පාලනයක ලක්ෂණකි. අද හමුදාව මැදිහත් වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය හරහා කි‍්‍රයාත්මක මැදමුලන දේශපාලනයේ පටු පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට බව පැහැදිලිය. කොළඹ නගරයේ ඇති ඉතාමත් වටිනා ඉඩම් ලබාගෙන ඒවා විවිධ පවුල් සමාගම්වලට, පුද්ගලයින්ට අලෙවි කිරීමට සහ වරදාන ලෙස ලබා දීමට කටයුතු කෙරේ.

ගෝඨාභය හමුදාව මැදිහත් කරවනු ලබන්නේ ගැටුම් කළමනාකරණයට බව පැහැදිලිය. මෙවැනි වැඩවලදී මිනිස් හැසිරීම් පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට තිබේ. එම අවබෝධය හමුදා ජීවිතයෙන් ඔහු උගත් පාඩමකි. හමුදා පුහුණු පාඨමාලාවේදී ගෝඨාභයගේ පි‍්‍රයතම විෂය වුයේ ‘යුද තක්සේරුකරණයයි’. යුද තක්සේරුවක් යනු තමාගේත් සතුරාගේත් ශක්තීන්, දුර්වලතාවයන් ප‍්‍රයෝජනයට ගත හැකි අවස්ථාවන් සලකා බැලීමයි. මිනිස් වාසස්ථාන ඉවත් කිරීමේ මෙහෙයුම් වලදී ඊට ගොදුරු වන මිනිසුන් ඔහු විසින් තක්සේරු කරණු ලබන්නේ සතුරන් ලෙසදැයි හරියටම කිව නොහැකිය. ගෝඨාභය දුප්පත් මිනිසුන් පහසුවෙන් එළවා දැමිය හැකි සහ අතුගා දැමිය හැකි යැයි සිතා කටයුතු කරන බව නම් පැහැදිලිය. එම දැනුම අපට ලබා දෙන්නේ ඔහුගේ කතාවෙන් සහ හැසිරීම් විසිනි.

නමුත් කොළඹ වනාතේ මිනිසුන් දුප්පත් වුවත් පහසුවෙන් අතුගා දැමිය හැකි ‘මිනිස් රොඩු’ නොවන බව නම් පැහැදිලිය. අද වනාතේ මිනිස්සු අනාත කිරීමට එරෙහිව සටනට පිවිස සිටී. ඔවුහු සෘජුව ගෝඨාට එරෙහිව සටන් වදිමින් සිටී. පසුගිය සෙනසුරාදා මේ මිනිසුන් ගෝඨා සමඟ යුධ වැදුනු එක් සටනකින් ජය ගත්තාහ.

ඒ සටනේ වීරයා වනාතේ සුනිල්ය. අවුරුදු 57ක් වයසැති සුනිල් උපන්දා සිටම වනාතේ ජීවත් වන්නෙකි. ප‍්‍රසිද්ධ යූ. ඇන්. පී. කාරයෙකි. දරු මුණුබුරන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිහිටියායි. සුනිල්ද වනාතේ ඉඩම් කොල්ලයට එරෙහිව සටන් වදින සටන් කරුවන් අතර මූලිකයෙකි. ප‍්‍රබලයෙකි. මේ සටන අතර වාරයේ වනාතේදීම සුනිල්ට ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසේ. ඒ පහු ගිය 13 වැනි බ‍්‍රහස්පතින්දායි. මැදමුලන ගෝඨා හා වනාතේ සුනිල් අතර කතා බහක් ඇති වේ. මාතෘකාව නිවාස හැර යාම සම්බන්ධවයි. ගෝඨාභය, සුනිල්ට වනාතේ නිවාස අතහැර යන ලෙස කියයි. සුනිල් ඊට විරුද්ධව කතාකරයි. කතාව උණුසුම් වේ. ගෝඨාභය සමග පැමිණි හමුදා නිලධාරීන්ද ඊට මැදිහත් වේ. කතාව ප‍්‍රමාණයට වඩා යැයි හැඟුන සුනිල් පසු බා යයි. පසුව වනාතේ කාන්තාවන් සහ ගෝඨාභය රාජපක්ෂ අතර කතාව ඇති වේ. සුනිල් කතා කළේ මුළු වනාත වෙනුවෙන්ම බව කාන්තාවෝ නිලධාරීන්ට කියා සිටියහ.

සිදුවීම ඇති වී ගෙවී ගියේ යාන්තම් දිනයක් පමණි. පෑලියගොඩ මාළු වෙළඳපොළට ගොස් එන අතර මඟදී සුනිල්ව සුදු වෑන් රථයකින් පැහැරගනු ලැබුවාය. සුනිල් අදත් ජීවත් වේ. සුනිලුත් නොසිතූ මොහොතක ඔහුට ජීවිතය ලැබී තිබේ. රාජ්‍ය මිනී මරුවන්ගේ ග‍්‍රහණයෙන් සුනිල් ගලවා ගත්තේ වනාතේ මිනිස්සුය. තම සටන් කරුවා අතුරුදහන් කර ඇති බව දැනගත් විගසම නිරායුධ මිනිසුන් වීදි සටනට බටහ. ටයර් පුච්චා දමා බේස්ලයින් පාරේ බැරිකේඩ් ඉදිකළහ. ගැටුමට ආ පොලිස් නිලධාරින් ජීවිතය බේරා ගත්තේ මිනිසුන් ඉදිරියේ වැඳවැටිලාය. හමුදාවට සහ පොලීසියට පරාජය බාර ගැනීමට සිදු විය. ඔවුහු සුනිල් ගෙනවිත් දෙන බවට පොරොන්දු වූහ. වනාතේ මිනිස්සුන්ට සුනිල් ලැබුණි. මෙතැන් සිට මිනිස් පවුරේ බලයෙන් යලි ජීවය ලත් වනාතේ සුනිල්ගේ කතාවට ඇහුන්කන් දෙමු.

‘‘මම වනාතමුල්ල නිවාස සමිතියේ ඉන්නවා. ඒ නිසා මම සමිතියේ ඉඳගෙන මගේ වත්ත වෙනුවෙන් කටයුතු කරනවා. මේකෙ තියෙන අඩුපාඩු කලින් ආව ප‍්‍රසාද් මහත්තයටත් බි‍්‍රගේඩියර් මහත්තයටත් කිව්වා. ඒ හැම වෙලාවෙම ඒ ගොල්ලෝ මාව දැඩි ලෙස විවේචනය කළා. ඒ වගේ ප‍්‍රශ්න ගොඩක් තියෙද්දී ගෝඨාභය මහත්තයා, ආරක්ෂක ලේකම් මහත්තයා බිල්ඩිමට ආවා. ආපු වෙලාවේ මම කඩයප්පන් විකුණන තැන ඉන්න කොට ප‍්‍රසාද් කියන එක්කෙනයි, බි‍්‍රගේඩියරුයි මාව පෙන්නුවා. ඊට පස්සේ ඒ අය මගේ නිවස පැත්තට ආවා. ගෝඨාභය මහත්තයා කිව්වා තමුන්නාන්සෙත් එක්ක මට කතා කරන්න ඕන කියලා. එයාගේ හැටියයි මගේ හැටියයි දෙකක්. මම එයාගෙන් අනුමැතිය ගත්තා. මම ඔබ තුමාත් එක්ක කතා කරන එක හොඳද? තමුන්නාන්සෙට ඕන දෙයක් කතා කරන්න පුළුවන් කිව්වා. අන්න එතනදී මම විවේචනය කරන්න ගත්තා. එයා කියන ඒවා සම්පූර්ණ ඇත්ත නම් නෑ. බොරුකියන්න ඕන නෑනේ. මිලියන හතක් කිව්වොත් ලක්ෂ හැත්තෑවක්. එක ගෙයක් ලක්ෂ හැත්තෑවක් නම් ඇයි අපිව ලක්ෂ දහයට යවන්නේ. ඒ ගොල්ලෝ ඉල්ලන්නේ අපෙන් ලක්ෂ දහයයි. මෙහෙම එයත් එක්ක ප‍්‍රශ්න කතා කරන කොට… තමුසෙලාට අපි ගෙවල් දෙන්න යන්නේ. යනවානම් යනවා කියනවා බැරි නම් බෑ කියනවා. බැරි අයට අපි දන්නවා යන විදිහ කරන්ඩ. බැකෝ දානවා. කොම්පක්‍ද්ක්‍දවීදිය මතකද? ප‍්‍රභාකරන්වත් නැති කරා නම් අනිත් මිනිස්සුන් වත් නැති කරන එක මහ දෙයක් නෙවෙයි වගේ ගොඩක් දේවල් කිව්වා. මම අවසර අරගෙන තමයි මගේ විවේචනය කළේ. තව එකක් තියෙනවා. මගේ කටේ සද්දේ වැඩියි. ඒක මගේ උපන් හැටි. කන ඇහෙන් නැතුව නෙවෙයි. මට හුරතල් කරල කතා කරන්න බෑ. එයත් කතා කරේ හයියෙන්. මාත් අත පය දිග ඇරලා කතා කළා. මගේ ඉනෙන් ඇද්දා. අත පය පල්ලෙහාට දානවා. ගොඩක් දේවල් එතනදීත් මට වුනා. එත් මම අත්දෙක උස්සලා කතා කළා. ඒකටත් ඒ ගොල්ලන්ට ටිකක් මේවා වුනා.එයා මගේ ඒවට උත්තර දුන්නේ නෑ.

එතකොට එයා එකපාරටම තමුසෙලා යූ ඇන් පී කාරයෝ නේද? කියල ඇහුවා. මම කිව්වා යූ. ඇන්. පී. තමයි. යූ. ඇන්. පී. එකෙන් එකෙක් වත් ආවේ නෑ. අපිට පිහිට වුනේ ජේවීපී එක. ජේවීපී එකට ඡන්දේ දෙනවා කියලා. ඒකටත් එයා විරෝධය පෑවා. මගේ දුකට තමයි මම බය නැතුව කතා කළේ. මම ගෝඨාභය මහත්තයට කිව්වා මට අවුරුදු 57ක් වෙනවා කියලා. මගේ නම කිසිම පොලීසියක ලියවිලා නැහැ කියලා. මොකද මැදක් හරියෙදී අනිත් අය කිව්වා මේ ගොල්ලෝ කුඩු විකුණනවා, ගංජා විකුණනවා ඒ නිසයි යන්න බැරි කියලා.

එවැනි ප‍්‍රශ්නයක් හින්ද තමයි මාව මාළු කඩේ ඉඳන්ම ෆලෝ කරගෙන ඇවිත් ඉස්සුවේ. කුණු ලේ පාට පෙජරෝ එකක් දෙමටගොඩ හරියේදී මාව හරස් කරල නතර කරලා එකපාරම ඇදලා දා ගත්තා. ඇතුලේ පස් දෙනෙක් හිටියා. දඩ බඩ ගාල මූණ බැන්දා. කට වැහුවා. දෙකට නැවුවා. නහය බුරියට වදින විදිහට තමා මාව තිබ්බේ. නවලා සීට් එක ඇතුලට දාලා එක කකුලක් පිටට තියාගෙන තමයි මාව ගෙනිච්චෙ. අත පිටිපස්සට බැදලා, කකුල දම්වැලෙන් බැදලා.

මාව ගත්තේ උදේ 10.45ට විතර. හවස මට කිව්වා උඹට චාන්ස් එකක් තියෙනවා කියලා. දැන් උඹ යනකම් මාධ්‍ය බලාගෙන ඇති. අසූ ගණන්වල කුඩු වික්කා කියල කියපන් කිව්වා. මම ගෙනියන්න ලෑස්ති වෙලා මගෙන් ඇහුවා උඹේ උපන් දිනය කියපන් කියලා. මම කිව්වා 1956 නවවෙනි මාසේ දහය කියලා. එහෙනම් උඹ ඒක අතහැරපන්. අද ඉදන් උඹගේ උපන් දිනය තියාගනින් කියලා කිව්වා.

ගම වෙනුවෙන් තමයි මම ගෝඨාභය මහත්තයා එක්ක කතා කරේ. මට තේරුණා එයත් එක්ක කතා කරපු එක නරකට හිට්ටා කියලා. එදා රෑත් කළුපාට කාර් එකක් කැරකුනා. මම ගෙදර අය නිදාගත්තට පස්සේ රෑ දෙක හමාරට පොතක ලිව්වා. මගේ ස්ටෝරියයි එදා රෑ මට වෙච්ච දේවලුත් ලියලා තමයි නිදාගත්තේ. ඒ වගේම මම අද මෙතන කතා කරන්නේ මං වෙනුවෙන් ජනතාව උද්ඝෝෂණය කරපු නිසයි. නැත්නම් අද ඕන කෙනෙක් කතා කරන්නේ සුදු කොඩි වලින්. මම මැරෙන්න බය නැහැ. නමුත් මම ජීවිතේට ආදරෙයි. ළමයි එක්ක මම ජීවත් වෙන්න ආසයි.’’ ඒ වනාතේ සුනිල්ගේ හඬයි.

ජීවිතේට තියෙන ආසාව, පවුලට තියෙන ආසාව, දරුවන්ට තියෙන ආසාව සහ ගමට තියෙන ආදරය වනාතේ සුනිල්ලාට දිරිය සපයයි. රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන්, මැදමුලනේ ත‍්‍රස්තවාදයෙන් වනාතේ සුනිල් දිවි ගලවා ගත්තේ මිනිසුන්ගේ සාමූහික වීර්යය නිසාය. සත්‍ය වශයෙන්ම ජනතාවට ගෞරවය, ආදරය රැගෙන එන මිනිසුන් මිනිසුන් විසින්ම රැකගනී. ජනතා බලයට මැරුණ මිනිසුන්ට වුවත් පණ දිය හැකිය. වනාතේ මිනිසුන් පීඩිතයන්ට නැවතත් මතක් කරදුන් පරණ පාඩම එයයි. පීඩිතයන්ට එය පරණ පාඩමක් වුවද ගෝඨාභයට එය අලුත් පාඩමක් විය යුතුය.

ගෝඨාභයගේ යුධ වීරයා, කපිතාන්  විජය විමලරත්න යුධ තක්සේරුකරණය පිළිබඳව ඔහුට කියානොදුන් අලුත් පාඩමක් වනාතේ සුනිල්ලා ඔහුට කියා දී ඇත. එය ඔහුට අවබෝධ වූවාදැයි ඇත්තේ සැකයකි.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්