“මේ වනවිට ආණ්ඩුවේම ඉන්න විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කරනවා. ජනාධිපතිවරයා කියනවා මැතිවරණ ක්රමයේ අඩුපාඩු නිසා ඡන්දය පවත්වන්න බැහැ කියලා. පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා අපේ්රල් මාසයට පෙර පළාත් පාලන ඡන්දය පවත්වනවා කියලා. දැන් ආණ්ඩුවට තනි මතයක් නැහැ. මේ විදියට ආණ්ඩුවේ ඇතුළේ අර්බුද නිසා ඡන්දය කල් දානවා. ඒකෙන් සිදු වෙන්නේ පළාත් පාලන ආයතනවලට තමන්ගේ නියෝජිතයකු පත් කර ගැනීමට මහ ජනතාවට අවස්ථාවක් අහිමි වීමයි. සමහරු කියන්න පුළුවන් මේක පුංචි ඡන්දයක් නිසා කලබල වෙන්න ඕන නැහැ කියලා. නමුත් අනෙකුත් ආයතනවලට වඩා ජනතාවගේ එදිනෙදා අත්යාවශ්ය කටයුතු ඉටුකර දීමට මැදිහත් වන්නේ පළාත් පාලන ආයතනයි. බෝක්කුව හදා ගන්න, ලයිට් කණුවට බල්බ් එක දාගන්න වගේ සියලුම දේවල් ඉටුකර දෙන්නේ පළාත් පාලන ආයතනයි. මේවනවිට පළාත් පාලන ආයතන රැසක ජනතා නියෝජිතයෝ නැහැ. බොහෝ ආයතන තිබෙන්නේ කොමසාරිස් පාලනය යටතේ. නමුත් කොමසාරිස්වරයා ජනතාවට සමීප නැහැ. ජනතාවගේ ප්රශ්නයක් ඉදිරිපත් කරන්න විදියක් නැහැ. යෝජනාවක් දාන්න විදියක් නැහැ. ප්ර්රශ්න තව තවත් වැඩි වෙනවා. දින 100 ආණ්ඩුව කාලේ පළාත් පාලන ආයතන වසරකින් කල් දාන විට අපි බලාගෙන හිටියා අවුරුද්ද තුළ ගැටලුව විසඳයි කියලා. නමුත් දිගින් දිගටම කල් දාන්න ඉඩ දෙන්න බැහැ.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසූවේ අද (29) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්තහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පැවති මාධ්ය හමුවේදීය.
එම අවස්ථාවට ජවිපෙ මධ්යමකාරක සභික පළාත් සභා මන්ත්රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාද එක්වූ අතර එහිදී ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින්…
“මේ වනවිට පළාත් පාලන ආයතනවල ඡන්දය කල් දැමීම නිසා ගැටලු ගණනාවක් මතුවෙලා තියෙනවා. දෙසැම්බර් මාසයේ අවසන්වීමට නියමිත පළාත් පාලන ආයතන 21ක කාලය ජනාධිපතිවරයා විසින් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා. ඒ වගේම මීට පෙර විසිරුවා හැරපු පළාත් පාලන ආයතනවල කාර්යභාරයත් නිශ්චිත නැහැ. මෙම පළාත් පාලන ආයතන 21ක කාලය දීර්ඝ කිරීම නිසා අනෙකුත් පළාත් පාලන ආයතනත් නිරායාසයෙන් කාලය දික් කරන්න සිදු වෙනවා.
පළාත් පාලන ආයතන රැසක කාලය පහුගිය මාර්තු මාසයේ අවසන් වුණා. එවිට බලයේ සිටියේ දින සියයේ ආණ්ඩුවයි. ඒ වෙලාවේ පළාත් පාලන ආයතන විසිරුවා හැර කොමසාරිස්වරයකුගේ පාලනය යටතට පත් කළා. ඒ වෙලාවේ ආණ්ඩුව කිව්වේ වසරකින් ඡන්දය පවත්වනවා කියලා. ඒ අනුව 2016 මාර්තු මාසයේ ඡන්දය පැවැත් විය යුතුයි. එසේ තිබියදී පළාත් පාලන ඡන්දය මාස 6කින් කල් දැමීම ගැටලු සහගතයි. එවිට, මේ වනවිටත් වසරකින් කල් දමා තිබෙන ඡන්දය තවත් මාස හයක් දක්වා දික් වෙනවා. මේ විදියට පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල් දැමීම ප්රජාතන්නත්රවාදයට අනුවත් ජනතාවගේ ඡන්ද අයිතිය අනුව බැලුවත් අසාධාරණයක්. ඡන්ද ක්රමයේ පවතින ගැටලු පදනම් කර ගනිමින් මේ ආකාරයට ඡන්දය කල් දැමීමට ජනතා විමුක්ති පෙරමුණේ විරුද්ධත්වය ප්රකාශ කරනවා. මේ විධියට මැතිවරණ කල් දාන්න ආණ්ඩුවකට අයිතියක් නැහැ.
ඒ විතරක් නෙවෙයි මේ වනවිට ආණ්ඩුවේම ඉන්න විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කරනවා. ජනාධිපතිවරයා කියනවා මැතිවරණ ක්රමයේ අඩුපාඩු නිසා ඡන්දය පවත්වන්න බැහැ කියලා. පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා අපේ්රල් මාසයට පෙර පළාත් පාලන ඡන්දය පවත්වනවා කියලා. දැන් ආණ්ඩුවට තනි මතයක් නැහැ. මේ විදියට ආණ්ඩුවේ ඇතුළේ අර්බුද නිසා ඡන්දය කල් දානවා. ඒකෙන් සිදු වෙන්නේ පළාත් පාලන ආයතනවලට තමන්ගේ නියෝජිතයකු පත් කර ගැනීමට මහ ජනතාවට අවස්ථාවක් අහිමි වීමයි. සමහරු කියන්න පුළුවන් මේක පුංචි ඡන්දයක් නිසා කලබල වෙන්න ඕන නැහැ කියලා. නමුත් අනෙකුත් ආයතනවලට වඩා ජනතාවගේ එදිනෙදා අත්යාවශ්ය කටයුතු ඉටුකර දීමට මැදිහත් වන්නේ පළාත් පාලන ආයතනයි. බෝක්කුව හදා ගන්න, ලයිට් කණුවට බල්බ් එක දාගන්න වගේ සියලුම දේවල් ඉටුකර දෙන්නේ පළාත් පාලන ආයතනයි. මේවනවිට පළාත් පාලන ආයතන රැසක ජනතා නියෝජිතයෝ නැහැ. බොහෝ ආයතන තිබෙන්නේ කොමසාරිස් පාලනය යටතේ. නමුත් කොමසාරිස්වරයා ජනතාවට සමීප නැහැ. ජනතාවගේ ප්රශ්නයක් ඉදිරිපත් කරන්න විදියක් නැහැ. යෝජනාවක් දාන්න විදියක් නැහැ. ප්ර්රශ්න තව තවත් වැඩි වෙනවා. දින 100 ආණ්ඩුව කාලේ පළාත් පාලන ආයතන වසරකින් කල් දාන විට අපි බලාගෙන හිටියා අවුරුද්ද තුළ ගැටලුව විසඳයි කියලා. නමුත් දිගින් දිගටම කල් දාන්න ඉඩ දෙන්න බැහැ.
ඇයි ආණ්ඩුව මේ විදියට ඡන්දය කල් දාන්නේ? ආණ්ඩුවේම විවිධ පාර්ශව වලට විවිධ දේශපාලන අරමුණු තිබෙනවා. මෛත්රීපාල සිරිසේන මහත්තයා ඇතුළු කණ්ඩායමට වුවමනා වෙලා තියෙනවා අලුත් ක්රමයට ඡන්දය තියන්න. නමුත් එජාපය පැරණි ක්රමයට කැමතියි. අලුත් ඡන්ද ක්රමය කියන්නේ රාජපක්ෂ මහත්තයා බලයේ ඉන්න වෙලාවේ ඔවුන්ට වාසි වෙන්න ගෙනාපු ඡන්ද ක්රමයක්. කොට්ඨාශ ක්රමය හා සමානුපාතික ඡන්ද ක්රමය මිශ්ර කරලා ඒක සකස් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂලා බලය පාවිච්චි කරලා තමන්ට වාසි වෙන විදියට කොට්ඨාශ නීර්ණය කළා. ඒ කොට්ඨාශ නීර්ණයේ ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසා දෝෂ සෙවීමට කොමිසමක් පත්කළා. කොමිසම පිළිගත්තා එම කොට්ඨාශ නීර්ණයේ විද්යාත්මක පදනමක් නැති බවත් දෝෂ ගණනාවක් තිබෙන බවත්. සමහර කොට්ඨාශ රාජපක්ෂලාට වාසි වෙන විදියට කුල ක්රමය අනුව වෙන් කරලා තිබුණා. තවත් සමහර තැන්වල ග්රාමසේවා කොට්ඨාශය දෙකට කඩලා තිබුණා. මෛත්රීපාල ජනාධිපතිවරයාත් නිමල් සිරිපාලද සිල්වාත් ඇතුළු පිරිස දෝෂ තිබෙන බව පිළිගෙන තිබෙනවා. ඒ නිසා මෙම දෝෂ නිවැරදි කළ යුතුයි. ඒ නිසා කොට්ඨාශ නීර්ණයට අලුත් කොමිසමක් පත් කළ යුතුව තිබෙනවා. ඒවගේම පළාත් පාලන පනතේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. ඒවා නිවැරදි කරන්න සංශෝධන ගේන්න ඕනෑ. මෙම ගැටලු නිරාකරණය කර ගත යුතුයි. නමුත් මෙම අලුත් ක්රමයේ දෝෂ නිසා ඡන්දය කල් දැමීම සුදුසු නැහැ.
අපි යෝජනා කරන්නේ මෙම පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට පැවැත්විය යුතුයි කියලා. අලුත් ක්රමය එයට බාධාවක් නම් එය කෙසේ හෝ අටවාගෙන ඡන්දය තියන එක සුදුසු ක්රමය නෙවෙයි. ඒ නිසා කළ යුත්තේ පැරණි ක්රමයට ඡන්දය පවත්වන එකයි. ඒ වගේම අපි කියනවා දැනට පවතින සමානුපාතික ඡන්ද ක්රමයේ මනාප ඡන්ද ක්රමය වැනි ගැටලු ඉවත් කළ යුතුයි කියාලා. අලුත් ඡන්ද ක්රමයක් හදනවා නම් ඒ මගින් මහජන කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹු විය යුතුයි. වැරැද්ද නිවැරදි කරනවා නම් එය හරියටම නිවැරදි කළ යුතුයි.
ඒ අතර ආණ්ඩුව කියනවා අලුත් ව්යවස්ථාවක් හදනවා කියලා. ඒ සඳහා කමිටුවක් හදලා ජනතා අදහස් ගන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ජනතා අදහස් අරගෙන මේ විදියට අලුත් ව්යවස්ථාවක් හදනවා නම් ඒ සඳහා අනිවාර්යෙන්ම අලුත් මැතිවරණ ක්රමයක් ඇතුළත් විය යුතුයි. පළාත් පාලන ඡන්ද ක්රමය හැම ඡන්දයකටම ගලපන්න බැහැ. ඒ නිසා හැම මැතිවරණයකටම ගැලපෙන පොදු මැතිවරණ ක්රමයක් ව්යවස්ථාවට ඇතුළත් වෙන්න ඕනෑ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුව රට ගැන හිතනවා නම් සිහි බුද්ධියෙන් කටයුතු කරනවා නම් සියලු මැතිවරණවලට එක් පොදු මැතිවරණ ක්රමයක් සකස් කළ යුතුයි කියලා. සමානුපාතික ක්රමයේ හොඳ ලක්ෂණත් කොට්ඨාශ ක්රමයේ හොඳ ලක්ෂණත් ඇතුළත් කරලා එය සකස් කළ යුතුයි.
මොනම හෝ ක්රමයකට ඡන්ද ක්රමයක් අටවලා ඡන්ද පැවැත්විය යුතු නැහැ. දේශපාලන පක්ෂවල තියෙන කලබලයට, දේශපාලන බල අරගලයට, දේශපාලන පක්ෂවල අර්බුද විසඳගන්න ඡන්ද පැවැත් විය යුතු නැහැ. එහෙම ඡන්ද තියන්න ගියාම තවත් අර්බුද ගණනාවක් නිර්මාණය වෙනවා. ඡන්ද පැවැත් විය යුත්තේ රටත් ජනතාවත් වෙනුවෙන්. ඒ නිසා තමයි පොදු මැතිවරණ ක්රමයක අවශ්යතාවය තියෙන්නේ. අපේ රටේ ඉතිහාසය පුරා ඡන්ද ක්රම සකස් කිරීමේදීත් ව්යවස්ථා සකස් කිරීමේදීත් ඒවා සකස් කර තිබෙන්නේ බලයේ ඉන්න පක්ෂයේ වාසිය වෙනුවෙන්. රට ගැන හිතලා නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1970 එජාපයට ලැබුණු ඡන්ද ටික ආරක්ෂා කරගන්න සමානුපාතික ඡන්ද ක්රමය හැදුවා. පසුව ඒක එජාපයට පාරා වළල්ලක් වෙලා අවාසි වුණාට පස්සේ එජාපයත් අලුත් ඡන්ද ක්රමයක් ගැන කතා කරනවා. අලුත් ඡන්ද ක්රමයක් සකස් කිරීමේදී ජාතිකත්ව අතර ප්රශ්න එනවා. කාන්තා නියෝජනයේ ප්රශ්න මතු වෙනවා. ඒ නිසා කාටවත් අර්බුදයක් නොවන මැතිවරණ ක්රමයක් සකස් කළ යුතු වෙනවා. දැනට පවතින සමානුපාතික ඡන්ද ක්රමයේත් අඩුපාඩු තිබෙනවා. නමුත් අඩුපාඩු සකස් කරන්න ගිහින් තවත් අර්බුද හදන එක වැරදියි. මේ වෙනකල් ආණ්ඩු කරපු අයත් දුරදිග නොබලා වැඩකරපු එකේ ප්රතිඵල තමයි දැන් ඇති වෙලා තිබෙන්නේ. මේ වනවිට සියලු ප්රදේශවල ජන ජීවිතයට පළාත් පාලන ආයතනවලින් ඉටුවිය යුතු කටයුතු ඉටු නොවීම නිසා ගැටලු ගණනාවක් මතුවෙලා තියෙනවා. ජනතාවගේ අත්යාවශ්ය දේවල් ඉදිරිපත් කරන්න ජනතා නියෝජිතයින් දැන් පළාත් පාලන ආයතනවල නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා අපේ්රල් මාසයට කලින් පළාත් පාලන ඡන්දය පවත්වන්න කියලා. එම ඡන්දය මෙතෙක් කල් පැවැත්වූවා වගේ පැරණි ක්රමයට පවත්වන්න පුළුවන්. අලුත් ව්යවස්ථාවක් හදන විට අලුත් මැතිවරණ ක්රමයක් සකස් කරන්න පුළුවන්. ඒ සඳහා සියලුදෙනාගේ අදහස් ලබා ගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා බාර දීලා තිබෙනවා. ඒවගේම නව මැතිවරණ ක්රමයේ අඩුපාඩු මාස තුන හතරකින් නිවැරදි කරලා ඡන්දයකට යන්න බැහැ. මොකද නව ඡන්ද ක්රමයකින් පස්සේ අඩුම තරමේ දේශපාලන පක්ෂවලට යාන්ත්රණයක් සකස් කර ගන්න මාස හයක් අවුරුද්දක් අතර කාලයක්වත් අවශ්ය වෙනවා. එය මැතිවරණ කොමසාරිස්වරයා අනෙකුත් බොහෝ රටවලුත් පිළිගත් කාරණයක්. ආණ්ඩුව ඒවා පවා නොසලකා කටයුතු කිරීම කණගාටුවට කාරණයක්.
මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින්…
සමහරු කියනවා ජවිපෙට වාසි අවාසි බලලා මැතිවරණ ක්රමය ගැන කතා කරනවා කියලා. නමුත් අපි අපට ලැබෙන වාසි අවාසි ප්රමුඛ කරගෙන මේ ප්ර්රශ්නය දිහා බලන්නේ නැහැ. ප්රමුඛ ප්රශ්නය වෙලා තියෙන්නේ ජනතාවට තමන්ගේ නියෝජිතයෙක් පත් කර ගන්න අවස්ථාව අහිමි වීමයි. මේ වනවිටත් මහජන නියෝජිතයින් නොමැති පළාත් පාලන ආයතන 300කට අධික ප්රමාණයක් තිබෙනවා. මන්ත්රීවරු සිටිද්දී පළාත් පාලන ආයතන කල් දැමීම ප්රශ්නයක් නැති වෙන්න පුළුවන්. මන්ත්රීවරුන් නොමැතිව තිබියදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් දැමීම ජනතාවට සිදු වන අසාධාරණයට උත්තරයක් නැහැ.
අලුත් ව්යවස්ථාවක් හදන එකට අපේ විරුද්ධත්වයක් නැහැ. අණ්ඩුව කියා තියෙනවා අලුත් ව්යවස්ථාවක් හදනවා නම් මුළු පාර්ලිමේන්තුවම ව්යවස්ථා සභාවක් කරනවා කියලා. එවිට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුත් එයට ඇතුළත් වෙනවා. ඒ නිසාම අපිටත් අපගේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපි විශ්වාස කරනවා අලුත් ව්යවස්ථාව රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය, මාධ්ය නිදහස සාධාරණ ලෙස තහවුරු විය යුතුයි කියලා. එයට අලුත් ඡන්ද ක්රමයකුත් ඇතුළත් විය යුතුයි. ආණ්ඩුවට අපි කියනවා මේ පළාත් පාලන මැතිවරණය අලුත් ඡන්ද ක්රමය එක්ක පටලවා ගන්න එපා කියලා.”











