කතරගම, තම්මැන්නාව මැණික් ඉඩමේ ගම්මුන්ට වෙන් කළ කොටසේ තිබී සොයාගත් මැණික් ගල් 124 නිසි පරිදි වෙන්දේසි කර අදාළ පවුල් 54ට සාධාරණය ඉටු කරන ලෙස ප්රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පසුගියදා වෙන්දේසියක් කැඳවා තිබුණද එය ක්ෂණිකව සංවිධානය කළ එකක් බැවින් මැණික් ගල් මිලදී ගැනීමට ව්යාපාරිකයන් නොපැමිණි බවද ගම්මු පවසති.
මේ නිසා අදාළ මැණික් ගල් 124 ට ලක්ෂ හතරක් ලන්සුවක් ලැබුණ බවත් ඊට විරෝධය පළකළ බවත් මැණික් සොයාගත් ප්රදේශවාසීහු පවසති.
මැණික් වෙන්දේසියක් තබන්නේ නම් එය කලින් ප්රසිද්ධ කළ යුතු බවත් එසේ නොකර අසාධාරණ ලෙස අඩු මිලට මැණික් ටික කාට හෝ විකිණීමට තමන් සූදානම් නැති බවත් ගම්මු පවසති.
මේ පිළිබඳ කතරගම ප්රාදේශීය ලේකම් ටී. බී. එම්. අතපත්තු මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ මෙම මැණික් ගල් 124 දැනට එම මැණික් හිමියන්ගේ අනුමැතිය යටතේ බැංකුවක තැන්පත් කර ඇති බවයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පවත්වන වෙන්දේසියකින් පවුල් 54 ටම සාධාරණ ලෙස සමසේ අදාළ මුදල් බෙදාදෙන බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් ජනතාව පවසන්නේ මෙරට ප්රධාන පෙළේ මැණික් ව්යාපාරිකයන් ඉදිරියේ වෙන්දේසියක් තබා තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙසයි.









