පසුගිය රාජපක්ෂ පාලන සමයේ දැඩි ආන්දෝලනාත්මක මාතෘකාවක් වූ මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය වෛද්ය පීඨයක් ලෙස පවත්වා ගෙන යෑමට අදාළ සුදුසුකම් සපුරා නැතැයි ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ ශ්රී ලංකා වෛද්ය සභාවේ නියෝජිතයින් ප්රකාශ කර තිබේ.
එසේ තිබියදී ඒ පිළිබඳව කඩිනම් තීරණයක් වත්මන් හවුල් ආණ්ඩුව විසින් ගත යුතු බවත් මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය වසා දැමිය යුතු බවත් වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුවද අවධාරණය කරයි.
රාජපක්ෂ පාලන සමයේ ආශිර්වාදය හා ආරක්ෂාව යටතේ ඉදිකළ මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව වෛද්ය සිසුන්, විශ්ව විද්යාල ආචාර්යවරුන්, විශේෂඥ වෛද්යවරුන් ඇතුළු විශාල පිරිසක් දැවැන්ත විරෝධතාවයක් ගෙන ගියත් පසුගිය රාජපක්ෂ පාලනය එම විරෝධතා නොසලකා හරිමින් මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබිණි.
මෙරට නිදහස් අධ්යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරන බවටත් නිදහස් අධ්යාපනය සුරක්ෂිත කරන බවටත් පොරොන්දු දෙමින් බලයට පැමිණි වත්මන් හවුල් ආණ්ඩුව ඉතා ඉක්මනින් නිදහස් අධ්යාපනය හා නිදහස් සෞඛ්ය ස්ථාපිත කිරීම වෙනුවෙන් වහාම මේ සඳහා මැදිහත් විය යුතුව ඇතැයි බොහෝ පිරිස් පෙන්වා දෙති.









