ජූලිය ගැන යළිත් කතා කිරීමට සිදුව තිබේ. ලක් පොළොව තෙත් කරමින් රුධිර ගංගාවල් ගලා ගිය, ජීවිත දහස් ගණනක් හා දේපළ අතිවිශාල ප්රමාණයක් වනසා දැමූ ලක් ඉතිහාසයේ ම්ලේච්ඡුත්වය හිස එසවූ දින කීපයක් පිළිබඳ මතකය අවදි වන්නේ ජූලි මාසයේය.
ඒ 1983න් ඇරඹි ලක් ඉතිහාසයේ අඳුරුතම දිනයයි. ජූලිය ”කළු ජූලිය”වූයේ ඒ සිදුවීම නිසාය.
දේශපාලනය ගැන හෝ ජාතිවාදය ගැන හෝ කිසිවක් නොදන්නා අහිංසක දරු පැටවුන්, වැඩිහිටියන්, කාන්තාවන් ඇතුළු මිනිස් ජීවිත කුරිරු ලෙස වනසා දැමූ ඒ ඛේදවාචකයට වගකිවයුත්තේ කවුද?
ලොව බොහෝ රටවල් වැඩවසම් ක්රමයේ සිට ධනවාදයට මාරුවෙන විට ජාතිකත්ව ප්රශ්නයද අපූරුවට විසඳා ගත් බව ඉතිහාසය සාක්ෂි දරයි. ආර්ථික මධ්යගතකරණයට සමගාමීව ජාතික රාජ්යයක් බිහිවීමත් ප්රාදේශීය වෙනස්කම් අහෝසි වන පරිදි තනි ජාතියක් බවට සියලූ ජාතිකත්වයන් ස්වීකරණය වීමත් සිදුවිය.
එහෙත් අප රටට ධනවාදය කැටුව ආවේ බටහිර අධිරාජ්යවාදීන්ය. විශේෂයෙන් බි්රතාන්යයන්ය. ඔවුන්ට අවශ්ය වූයේ අපේ සම්පත් අඩුම වියදමකින් කොල්ල කෑමටය. ඊට අත්යවශ්ය සාධකය වූයේ ජනතා අසමගියයි. එබැවින් ඔවුන් වෛරයේ බීජ වපුරා සමගිය අවුරා ධනවාදය අපට ලබා දුන්හ. 1948න් පසු රට පාලනය කළ මෙරට පාලකයෝද කළේ තම බලය හා වරදාන වෙනුවෙන් මේ විරසකය තවත් තීව්රවන පරිදි ජාතිවාදය යොදා ගැනීමයි. 1949 වතුකරයේ ජනතාවගේ ඡුන්ද අයිතිය අහිමි කළේ ඒ නිසාය. 1956 සිංහල රාජ්ය භාෂාව කිරීමත්, පසුව බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීමට යාමත් එවැනි පියවරයන්ය.
ජාතිවාදයන් එකක් විසින් අනික පෝෂණය කරන අතර, දෙපැත්තටම සේවය කරමින් වර්ධනය වෙයි. 1983 වන විට මේ තත්වය හොඳටම ඔඩුදුවා තිබිණි. පිපිරීමට අවශ්ය වූයේ කුඩා සිදුවීමක් පමණි. සැබැවින්ම එය එසේම සිදුවිය. ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි අඳුරු කළු පැල්ලමක් ඇති විය.
මෙහි අනිවාර්ය ප්රතිඵලය වූයේ මහා පරිමාණ දිගුකාලීන යුද්ධයකට රට තල්ලූ වීමයි. 2009 වසර වන තුරුම මිනී කඳු ගොඩගැසෙන විසාලා මහනුවරක් බවට රට පත්වූයේ ඒ අනුවය. එම ඛේදවාචකයට වැඩිපුරම ගොදුරු වූයේ ජාතිවාදය වැපිරූ බලලෝභී දේශපාලකයන් නොව සාමාන්ය පීඩිත සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවමය. දේශපාලකයන් කළේ යුද්ධය ද තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් යොදා ගැනීමයි. එය ජාවාරමක් කර ගැනීමයි.
2009 යුද්ධය අවසන් වුවද බලලෝභී දේශපාලනය ජාතිවාදය අත්හැර නොමැත. අදටත් විවිධ වේශයන්ගෙන් පෙනී සිටිමින් තවමත් බලය සඳහා කෑදර ලෙස ජාතිවාදය යොදාගනිමින් පවතී. පසුගිය වසරේ ජූනියේදී අලූත්ගම දර්ගා නගරයේ අහසට නැඟි කළු දුම්වලාවන් ප්රකාශ කළේ එයයි. උතුරේ ඊළාම් කොඩි ඔසවා ඇති බවටත්, හමුදා කඳවුරු ඉවත්කරන බවටත් කටකතා පතුරවන්නේ එනිසාය. යාපනයේ විද්යා සිසුවිය ක්රෑර ලෙස ඝාතනය කළ සිදුවීම ඇතැමුන් විසින් සිංහල අයගේ වැඩක් ලෙස හුවාදක්වන්නට උත්සාහ කළේ එනිසාය. මුස්ලිම් ජනප්රජාව ඉලක්කකරගෙන වෛරී සහගත ප්රකාශයන් නිකුත් වන්නේ එබැවිණි. එසේම ඇතැම් මුස්ලිම් දේශපාලකයන් මුස්ලිම් ජනතාවට පමණක් වරප්රසාද ඉල්ලන්නේ එනිසාය.
ජනවාරි 08 රාජපක්ෂවරුන්ගේ පරාජයත් සමග ජාතිවාදයේ එක් මුහුණුවරක් ද පරාජයට පත්විය. නමුත් ඒ සියල්ල නොවේ. ජනතාවගේ දැවෙන සමාජ ආර්ථික ප්රශ්න කිසිවකට විසඳුම් නොමැති බංකොලොත් දේශපාලකයන් නිරන්තරයෙන් තල්ලූ වන්නේ ජාතිවාදී ගොහොරුවටය. අදටද එය එසේමය. මේ මැතිවරණ සමය තුළද ර`ග දැක්වෙන්නේ එවැනි නාටකයන්ය.
දූෂිතයන්, අපරාධකරුවන්, මත්ද්රව්ය ජාවාරම්කරුවන් ප්රතික්ෂේප කළ යුතු බවට විශාල ජනමතයක් ගොඩනැගී තිබේ. බංකොලොත් ජාතිවාදී දේශපාලනයද මේ ගොඬේම තබා පැරදවීම යහපාලනය සඳහා අත්යවශ්ය කාරණයකි. ඒ නිසාම සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය සැබෑ ලෙසම තහවුරු කළ හැකි, එක් එක් ජාතිකත්වයට කප්පම්, වරදාන දෙනවා වෙනුවට සැබෑ ලෙසම ජනතා අයිතිවාසිකම් තහවුරු කෙරෙන ප්රතිපත්ති ගරුක දේශපාලනයක් රටට අවශ්ය වී තිබේ.
කළු ජූලියේ අමිහිරි මතකය අලූත්වන මේ සතියේ යළි එවන් ඛේදවාචකයන්ට පාර කපන මුග්ධ ජාතිවාදී දේශපාලනය තිර ලෙසම පැරදවීමට සියලූ දෙනා සකී්රයව දායක විය යුතුය. සැබෑ මනුෂ්යත්වය ඉහළින්ම ඔසවා තැබිය හැකිවන්නේ එවිටය.









