මන්ත්‍රී පිරිසකට ජීප් රථ තැගී ලැබේ

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රීවරුන් වෙත ලබා දී තිබූ ජීප් රථ පරිහරණය කරන ලද මන්ත්‍රීවරුන් වෙතම ලබා දීම සඳහා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙසේ ලබා දීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ එම ජීප් රථ නඩත්තු කිරීම සඳහා වියදම් අදාළ මන්ත්‍රීවරුන් විසින් වැය කිරීමත් එම ජීප් රථ දුර්වල තත්වයේ තිබීමත් ඒවා නැවත අමාත්‍යංශයට පවරාගත හොත් ගාල් කර තැබීමේ ගැටලු මතුවීමත් යන කරුණුය.

මේ අනුව පැහැදිලි වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය විසින් මැති ඇමතිවරුන්ට දොළ පිදේනි ලබා දීමේ ආදර්ශය ඉදිරියටම කරගෙන යන බවය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිට ඇමතිකම් දරන ලද මුත් මේ වනවිට ඇමති ධූර අහිමි වී තිබෙන මන්ත්‍රීවරුනට වාහන දෙකක් සහ ඉන්ධන දීමනා ඇතුළු වරදාන ලබා දීමට මෙයට පෙර අවස්ථාවකදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළේය. ඉන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව පවසමින් ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකුට ඇමති වරප්‍රසාද ලබා දෙන ලදි.

මේ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන් මැති ඇමතිවරුන්ට විවිධ වරදාන ලබා දෙමින් පාලනය ගෙන යාමට උත්සාහ දැරීමේ ප්‍රවණතාවයක් මතු වී තිබෙන බව පැහැදිලිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්