මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය වසර 30ක කාලයක් සඳහා විදෙස් සමාගම් දෙකකට පැවරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව ඇතයි වාර්තා වේ.
ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company යන සමාගම් වෙත එම ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය පැවරීම සඳහා වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස ඇමති මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.
මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ෂවයන්ගෙන් අභිලාෂ ප්රකාශ කිරීම් කැඳවීමට 2023 වසරේ ජනවාරි මස 09 වන දින පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබිණි.
ඒ අනුව ආයතන 05ක් විසින් අභිලාෂ ප්රකාශ කිරීම් ඉදිරිපත් කර තිබී ඇත.
ඒ සම්බන්ධයෙන් ඇමති මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙලෙස මත්තල ගුවන් තොටුපොළේ කළමනාකරණය ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකක් වෙත පැවරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.










