මට දැඩි තීරණයක් ගන්න වෙනවා…

යම් හෙයකින් හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා ලබා දුනහොත් තමන් තවදුරටත් පක්ෂයේ රැඳී සිටින්නේ දැයි යන්න පිළිබඳ දැඩි තීරණයක් ගැනීමට සිදු වනු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග බීබීසි සේවය සමග එක්වෙමින් පවසයි.

රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ “මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. එතුමාට ඕන වෙලා තියෙනවා පක්ෂය ආරක්ෂා කර ගන්න. හැබැයි මම හිතන්නේ පක්ෂයක් ආරක්ෂා කරනවාට වඩා රට ආරක්ෂා කරන එක වැදගත් කියලා. හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වුවත් ඒ දෙකඩ වීම සිදු වන්නේ හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු අතරයි. මහජනතාව අපි දෙගොල්ල පරද්දල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදුවයි කිව්වත් අඩු ගානේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට රටේ ගෞරවයක් තියෙයි හොරු, දූෂකයන් අයින් කරලා පැරදිච්ච නායකයෙක් කියලා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමායි ඒ කල්ලියයි නැවත ගෙනාවොත් එතුමාටත් ඔය ජනාධිපති පුටුවේ වැඩිකල් ඉන්න ඒගොල්ලෝ ඉඩ තියන්නේ නැහැ, එතුමාගේ ජීවිතයට පවා තර්ජනයක්, ඒ විතරක් නෙවෙයි අපි රාජිතලා, දුමින්ද දිසානායකලා, හිටපු ජනාධිපතිතුමිය ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වුනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව විශ්වාස කරලා. ඉතින් එතුමාට ඒ විශ්වාසය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් මේ ඡන්දෙදී”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ විය යුත්තේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම නොවේදැයි බීබීසීය විමසුවිට අමාත්‍යවරයා පවසන්නේ නිදහස් පක්ෂයේ අරමුණ විය යුත්තේ එය වුවත් ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා හොරුන් හා දූෂිතයන් එක් කර ගැනීම රටට හානිදායක බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්