බෙදා වෙන් කළ ජනතාව එක මිටකට එකතු කරන්න මාලිමාව සමත් වෙලා තියෙනවා – අරුන් හේමචන්ද්‍ර

බෙදා වෙන් කළ ජනතාව එක මිටකට එකතු කරන්න මාලිමාව සමත් වෙලා තියෙනවා – අරුන් හේමචන්ද්‍ර

පාලකයන් විසින් බෙදලා වෙන් කළ ජනතාව එක මිටකට එකතු කරන්න මාලිමාව සමත් වී ඇති බව මෙවර මැයි දිනයේදී හොඳින්ම තහවුරු වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අරුන් හේමචන්ද්‍ර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කලේ, ජාතික ජන බලවේගය ඊයේ (01) අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ පවත්වනු ලැබූ මැයි රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලයේ ජාතික විධායක සභික අරුන් හේමචන්ද්‍ර,

“අපි දන්නවා එක්සත් ජනපදයේ හිටපු ප්‍රකට සටන්කරුවෙක් වන මර්ටින් ලූතර් කිං මෙහෙම කතාවක් කියනවා. නිදහස කියන දේ කවදාක්වත් පාලක පන්තිය විසින්, පීඩකයා විසින් පීඩාවට ලක්වෙන කෙනාට ස්වේච්චාවෙන් ලාබා නොදෙන් දෙයක්. නමුත් මේක පීඩිත පන්තිය කොන්දේසි විරහිතව සටන් කරලා, අරගල කරලා ජයගත යුතු දෙයක් කියලා.

අපි දන්නවා 1886 එම කාලයට සාපේක්ෂව තිබුණ තාක්ෂණයත් එක්ක පොර බදපු කම්කරුවෝ පැය අටක වැඩ දිනය ඉල්ලා හේමර්කට් චතුරශ්‍රයේ අරගල කළා. අපි එකක් විශ්වාස කරමු මේ ලෝකයේ අරගලයෙන් තොරව ජයග්‍රහණයක් නැහැ. අද අපි බුක්තිවිඳින ඕනෑම ජයග්‍රහණයක් අරගලය හරහා ලබාගත්ත ජයග්‍රහණයක්. නමුත් මොකක්ද වෙලා තියෙන්නේ? අද අපේ රටේ ජිවත්වන කම්කරුවෝ, ධීවරයෝ, ගොවියෝ, පුද්ගලික අංශයේ සේවකෝ ඇතුළු සියලු දෙනා දැවැන්ත පීඩණයකින් ජීවත්වෙන්නේ.

මේ රටේ පවතින මේ අර්බුදය නිසා මේ පාලකයන් විසින් රට විරුවෝ කියලා බලහත්කාරයෙන් පිටරටට යවපු එම විදේශ ගත ශ්‍රමිකයෝ ගැනත් අද අපි මතක් කරන්නට ඕනෙ. විශේෂයෙන් දැවැන්ත පීඩනය මැද්දේ රට වෙනුවෙන් පිටරට ගිහිල්ලා යම්කිසි සේවයක් කරන විදේශ විනිමය මේ රටට ලබා දෙන අය ගැනත් අපි මතක් කළ යුතුයි. අපේ රටේ තියෙන සම්පත්ටික හරි ආකාරයෙන් පාවිච්චි කරලා මේ පාලකයෝ අපේ රට හරියාකාරව ගොඩනගලා තිබුණනම් කිසිසේත්ම මේ වගේ අඳුරු යුගයකට මේ රටේ ජීවත්වෙන වගේම විදේශගතවෙලා දැවැන්ත පීඩණයක් මැද්දෙ රැකියා කරන ප්‍රරවැසියොත් අර්බුදකාරී ජීවිතයකට මුහුණදෙන්නේ නැහැ.

ඒ වගේම වැඩකරන ජනතාව, එකතුවෙච්ච හැම මොහොතෙම මේ පාලකයෝ ආගම්වාදය, ජාතිවාදය, මූලධර්මවාදය හරහා ජනතාව බෙදලා වෙන් කළා. නමුත් අපි විශ්වාස කරනවා මාලිමාව සාර්ථක වෙලා තියෙනවා, වෙන්වෙලා හිටපු ජනතාව අද එක මිටකට එකතු කරලා සටනට කැඳවන්න. ඒක තමයි මේ අනුරාධපුර මැයි රැලියෙන් ඔප්පුවෙන්නේ.

ආදරනීය සහෝදරවරු, අපි අතේ දැවැන්ත කාර්යභාර්යයක් තියෙනවා. මේ පණිවිඩය මේ රටේ ජීවත්වෙන සියලුම ජනතාව වෙත රැගෙන යායුතුයි. විශේෂයෙන් දේශපාලන, සමාජ, ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින මේ මොහොතෙත් පණිවිඩය ජනතාව වෙත අරගෙන යා යුතුයි.

අවසන් වශයෙන් ගුරු ගීතය පොතේ චින්ගිත් අයිත්මාතොව් ලියූ කවිය මතක් කළ යුතුයි.

ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැටි සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි…

මතක තියාගන්න තවම මාස 04යි. දැවැන්ත ජයග්‍රහණයක් සඳහා අපි හැමෝම මේ මොහොත වනවිට පෙළ ගැසිලා ඉන්නේ. මේ රට නව පුනරුදයක් සඳහා දැන් සූදානම් කියන පණිවිඩිය රනිල්, රාජපක්ෂ, සජිත් කල්ලියට අපි කියමු. ඔවුන්ගේ රැවටිලිකාරී දේශපාලනය පරාජය කරමු. හැමෝම එක මිටට ජාතිවාදය ආගම්වාදය සියලු වාද බේද ප්‍රතික්ෂේප කරමින් නිල්, කොළ, රතු බේදයකින් තොරව අපි එක මවකගේ දරුවෝ ලෙස අපි හැමෝම එකතුකරමින් මේ ගමන අපි ඉස්සරහට යමු.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්